රෝහල් සායනයට රෝගියකු රැගෙන ආ ත්‍රිරෝද රියේ පෙට්රල් ඇදලා

0
24

මහනුවර වකුගඩු ඒකකයේ සායනයට රෝගියකු රැගෙන පැමිණි ත්‍රිරෝද රථයක් මහනුවර ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබියදී ඉන් පෙට්රල් සොරාගත් බව කියන පුද්ගලයකු රෝහල් ආරක්ෂක අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිරෝද රථයේම තිබූ කෑන් එකකට බටයක් ආධාරයෙන් එම ත්‍රිරෝද රථයේ ටැංකියේ තිබූ පෙට්රල් පුරවාගෙන සැකකරු පලා යනු දුටු වකුගඩු රෝගී දරුවාගේ පියාගේ දැනුම්දීම මත රෝහල් ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් මාධ්‍යවේදියකු බව පවසා 2013 වසරේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ හැඳුනුම්පතක්ද පෙන්වා ආරක්ෂක අංශයෙන් මිදීමට සැකකරු උත්සාහ කර ඇත. සිද්ධිය පිළිබඳව ආරක්ෂක අංශය මඟින් මහනුවර පොලිස් හදිසි ඇමැතුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක බණ්ඩාර මහතාට දැනුම්දීමෙන් පසු සැකකරු පොලිසියට රැගෙන ගොස් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු රජයේ ආයතනයක සේවය කරන බවත් ඔහු කලක් මාධ්‍ය ඒකකයට සම්බන්ධව සේවය කර ඇති බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

සැකකරු සතුව තිබී කෑන් එකේ ඉන්ධන ලීටර් 04ක් පමණද ඉන්ධන පිටතට ඇදීම සඳහා උපයෝගි කරගත් බටයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

රෝහලේ රථගාලේ නවතා තිබෙන යතුරුපැදි හා ත්‍රිරෝද රථවල ඉන්ධන සොරා ගැනීමේ සිදුවීම් කිහිපයක්ද පසුගිය දිනවල වාර්තා වූ බවත් මෙම පුද්ගලයා විසින් ඒවා සිදු කරන්නට ඇතැයි සැකකරන බවත් මහනුවර රෝහලේ ආරක්ෂක අංශ ප්‍රධානි  මහින්ද ජයසිංහ මහතා කීය.

රෝහල් ආරක්ෂක අංශයේ නිශ්ශංක නමැති අය විසින් සැකකරු අල්ලාගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මහනුවර – කේ.එල්. සුරවීර