රෝද තුනේ මාෆියාව

0
110

ලංකාව අදූෂිත රටවල සිට දූෂිතභාවය වැඩිවන පැත්තට පෙළ ගැස්වූ විට එකසිය දෙවැනි ස්ථානයේ සිටින බව මෑතකදී ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනයේ සමීක්ෂණයකින් අනාවරණය කොට තිබිණි. ගත වූ කාලය තුළ යළිත් එවැනි සමීක්ෂණයක් කළා නම් ඒ තැන තව ටිකක් ඉහළට නඟින්නට හොඳටම ඉඩ තිබේ. වංචාවට දූෂණයට මඟ පාදා තිබෙන්නේ හුදු දේශපාලන අධිකාරිය පමණක්ද? නැත. මේ රටේ ජනතාවද ඒ සම්බන්ධව යම් වගකීමක් භාරගත යුතුමය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන පෝලිම් ගැටලුව විසඳාලීමේ අරමුණු ඇතිව ජාතික ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දෙමින් එය ක්‍රියාවට නැඟීමට පියවර ගෙන ඇත. මෙම ක්‍රමවේදයේ සාර්ථක භාවය ගැන පූර්ව නිගමනවලට එළැඹෙන්නට මේ මොහොතේ පුළුවන්කමක් නැත. ඒ  සඳහා යම් කාලයක් ගතවනු ඇත. එහෙත් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුත්තකි. ඒ කියන්නේ මේ රටේ තෙල් පෝලිම්වල දකින්නට ලැබෙන ත්‍රීවීලර්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අලුත් ජාවාරමක් පටන් ගෙනය. කුලී රථ සේවයෙහි යෙදෙනු වෙනුවට තෙල් ජාවාරමෙහි යෙදෙන්නට පටන් ගැනීමය. කුලී ගමනක් ගිහින් හොයනවාට වඩා වැඩි මුදලක් ඇතැම් ත්‍රීවීලර් රියැදුරන් සොයා ගන්නා බව අනාවරණය වෙමින් තිබේ.

මේ ජාවාරම ඇඟට නොදැනී හිමින් සීරුවේ කරගෙන යන්නකි. ගනුදෙනුව සිදුවන්නේ සානුකම්පිතභාවය පෙරමුණට ගෙනය. හදිසියකට තෙල් ටිකක් ලැබෙනවා නම් ඒකට කීයක් ගියත් කමක් නැත. ලෙඩකට, දුකකට, රෝගී අයකු රෝහලකට ගෙන යෑමට යතුරුපැදියට හෝ වෙනත් වාහනයකට කොහෙන් හරි තෙල් ටිකක් ලැබේ නම් ඒක ලොකු යහපතක් බව එක්වරම සිතෙයි. එහෙත් වැඩේ යන්නේ මාෆියාවක් ලෙසය.

තෙල් පෝලිම්වල පැය ගණන් නොව, දින ගණන් සති ගණන් එකදිගට රස්තියාදු වෙමින් සිටින අය ගැන මේ දවස්වල ඕනෑ තරම් කතන්දර අසන්නට ලැබේ. මෙහෙම දිගින් දිගට රස්තියාදු වී අන්තිමට ලෙඩදුක් කරදරවලට මුහුණ දී ජීවිතයෙන් වන්දි ගෙවන තැනට කටයුතු සිදුවුණු අවස්ථාද වාර්තා වී තිබේ. ඉන්ධන ලබා ගැනීමේ අරමුණ ඇතිව කැකිරාවේ ඉපලෝගම නන්දන ජයසුන්දර තෙල් පෝලිමට එකතු වී මරුවා හමුවෙහි පැරදුණේය.

මේ සටහන ලියන මොහොත වන විට මෙසේ පෝලිම්වල රස්තියාදු වී සිදුවුණු මරණ සංඛ්‍යාව 20 දක්වා වැඩි වී තිබිණි. එක් පැත්තකින් මෙසේ දිවි පරදුවට තබා රටේ ජනතාව පෝලිම්වල දහදුක් විඳිමින් සිටියදී තවත් පැත්තකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ඒවා වැඩි  මිලට විකුණමින් අලුත් ජාවාරමක් පටන්ගෙනය. මේවා අමුතු ජාවාරම් නොවන බව ඇත්තය. කල දුටු කල වළ ඉහගන්නට මාන බලමින් ජීවිතය ගැට ගහගන්නට මොන ජාවාරමක් හෝ පටන් ගන්නට දැන් මේ රටේ මිනිසුන් සූදානම්ය.

ත්‍රිරෝද රථයකින් මහමඟ මිනිසුන් එහා මෙහා ගෙන යෑම දවසේ වියදම අමාරුවෙන් හෝ සපයා ගන්නා සාමාන්‍ය රැකියාවකි. මේ රැකියාවට එක් වී සිටින සමහරෙක් ත්‍රිරෝද රථවල හිමිකරුවෝය. තවත් අය හිමිකරුගෙන් දවසේ හෝ මාසයේ කුලියට රථය ලබාගෙන තමනුත් ගාණක් ඉතිරි කරගෙන වාහනයේ ගාස්තුවද කෙසේ හෝ ගෙවා ගන්නට සමත් වෙති. මේ කාට කාටත් පවතින අර්බුදය හමුවේ හරියටම රස්සාව කරගෙන යන්නට අපහසු වී තිබේ. ඉන්ධන ගාස්තු වැඩිවීමත් සමඟ මගීන්ගෙන් අය කරන ගාස්තුවද උහුලනු බැරි තරමට ඉහළ නැඟ තිබේ. මේ කතන්දර ඔක්කොම ඇත්තය.

එහෙම වුණත් අලුතින් පටන් ගෙන තිබෙන ජාවාරම නිසා පොදුවේ මේ රටේ සමස්ත ආර්ථිකයටම පහර වදින්නට පටන්ගෙනය. හොර පාරෙන් ඉන්ධන ලබාගන්නට ගිය විට වැඩිපුර මුදලක් වැය කරන්නට සිදුවීම නිසා එයින්  පුද්ගල ආර්ථිකයට වදින පහර සුළුපටු නොවේ. මේ තත්ත්වය පසු ගිය කාලය පුරාම මේ රටේ ජනතාවට අත්විඳින්නට සිදුවී තිබේ. රටින් කහ ගෙන්වීම තහනම් කළදා පටන් හොරෙන් ගෙනා කහ වෙළෙඳපොළේ වැඩි මිලට විකිණී ගිය අයුරු රහසක් නොවීය. රටක් ආර්ථික අර්බුදයෙන්  ගොඩ ගැනීමේදී මෙවැනි හොර ජාවාරම්වලට ඉඩ නොතැබිය යුතුමය.

පුත්තලම හා අවට නගර රැසක රහසේ ජාවාරම්කරුවන් විසින් පෙට්රල් ලීටරය රුපියල් 2,500කට අධික මුදලකට අලෙවි කරන බවට වාර්තා වී තිබිණි. තවත් ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් ගැන අසන්නට ලැබෙයි. මෙවැනි ජාවාරම් වළකාලීමට පොලිසියද අසමත්ව සිටින තත්ත්වයකි. ඇතැම් පිරවුම්හල්වල චණ්ඩි පෝලිම්, පාතාල පෝලිම් වෙන වෙනම ක්‍රියාත්මකය. දින ගණන් පෝලිම්වල රස්තියාදු වී සිටින අයට සීමා කිරීම් ඇතිව තෙල් ටික ලැබෙන්නේ මුලින් සඳහන් කළ වරදාන පෝලිම් සියල්ලම තෘප්තිමත් කළ පසුවය. ඊටත් වඩා ඛේදජනක පුවතකි.

තමන්ට පෝලිමේ ඉන්නට බැරි නිසා දවසේ කුලියට පෝලිමේ ඉන්නට වෙනම අය ඉදිරිපත් වෙති. බොහෝ විට දවසේ කුලිය රුපියල් 3,000කි. ඒ මුදල දින තුනකට 9,000කි. දින තුනක් පෝලිමේ සිටි පුද්ගලයාට මෝටර් රථයට තෙල් ලැබුණේ 7,000ක පමණය. මේ වාගේ සිදුවීම් අප්‍රමාණය. රෝද තුනේ මාෆියාව මේ සියලු ජාවාරම්වලට මුල පුරා තිබේ. පෝලිම්වල ඉඩකඩ විකිණීමද ඒ මාෆියාවේම අතුරු ආදායම් ක්‍රමයකි.

2019 වර්ෂයේ මුල් මාස තුනෙහි මේ රටේ ඉන්ධන පාවිච්චිය හා සසඳා බලන කල 2022 එනම් මේ වසරේ මුල් මාස තුනෙහි ඉන්ධන පාවිච්චිය 30%කින් පමණ වැඩි වීමක් පෙන්වන බව අමාත්‍ය කංචන කියයි. මිල වැඩි වුණත් පෝලිම් තිබුණත් මෙසේ ඉන්ධන පාවිච්චිය වැඩි වුණේ ඇයි? මේ රටේ සාමාන්‍ය ජනතාව දැන් දැන් පොදු ප්‍රවාහනයට වැඩි වැඩියෙන් නැඹුරුව සිටිති. දුම්රියෙන් ගමන් බිමන්වල යෙදෙන පිරිසද වැඩිවුණු සෙයකි. පාපැදියටද තදබල ඉල්ලුමකි. ත්‍රිරෝද රථවලින් එහෙ මෙහේ ගිය අය අඩු වී ඇති බවක් පෙනේ. මෑතකදී ගෑස් සිලින්ඩරය නගරයට ගෙන යන්නට ත්‍රිරෝද කිහිපයකට අත ඇල්ලුවත් ඒවා නතර නොකිරීම හේතුවෙන් එම සිලින්ඩරය බසයක පාපුවරුවේ තබාගෙන යන්නට සිදුවුණු බවට පුවතක් වාර්තා වී තිබිණි.

අප රටේ දැනට ඉන්ධන පිරවුම්හල් 1,200ක් පමණ සක්‍රියව පවතී. දුම්රිය, වරාය අධිකාරිය, ගමනාගමන මණ්ඩලය, ගුවන්තොටුපොළ යන ස්ථානවල විශේෂ පිරවුම්හල්ය. ඉන්ධන බෙදා හැරීමේ ජංගම සේවයක්ද ක්‍රියාත්මක කිරීමට යෝජිතය. බෙදාහැරීම් ජාලය කොතරම් විධිමත් වුවත් ඉල්ලුමට අනුව සැපයුම නැතිනම් පහසුකම් හෝ යෝජනාවලින් පලක් නැත.

සිපෙට්කෝ සහ IOC ආයතන සිය ඉන්ධන මිල පෙරේදා රාත්‍රි 10.00 සිට රුපියල් 10 සිට 20 දක්වා ප්‍රමාණයෙන් අඩුකොට තිබේ. එය යම් සහනයකි. ගැටලුව මිල වැඩිවීම හෝ අඩුවීම මත හෝ ජාතික ඉන්ධන අවසරපත ලබාදීම මත අර්බුදයට පිළියම් නොලැබීමය. රෝද තුනේ මාෆියාව ගැන අප මේ සටහන ලියනුයේ අර්බුදය විස¼දාලීම සඳහා අවධානය යොමුවිය යුතු තවත් බොහෝ කාරණා ඇති බව පෙන්වා දෙන්නටය.

පාලකයා දූෂණයෙන් වංචාවෙන් වැළකිය යුතුය. එම අදහසෙහි කිසිදු වරදක් විවාදයක් නැත. පාලිතයා නැති නම් පුරවැසියා දූෂණයට වංචාවට අනුබලදීම ඊටත් වඩා බිහිසුණුය. මේ තත්ත්වයෙන් රට මිදෙන තෙක් සමෘද්ධිමත් දේශයක් පිළිබඳව අප දකින සිහිනය බොඳවී යනු නොඅනුමානය.