රනිල් යළි හදිසිය ක්‍රියාත්මක කරයි

0
34

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18දා) සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති බලය අනුව ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ගැසට් නිවේදනයකින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. රටේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවැතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීමටත්, මහජන සේවා සැපයීමටත් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළ බව එහි සඳහන් වේ.

අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ද අවස්ථා කිහිපයකදීම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර ශ්‍රී  ලංකා නීතිඥ සංගමය, ඇමරිකානු තානාපති කාර්යාලය, යුරෝපා සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් ඊට විරෝධය පළ කළේය.

නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ අභිමතානුසාරි බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතුව පවතින අතර එම නිවේදනය දින 14ක් ඇතුළත සන්නිවේදනය කර අවශ්‍ය අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලබාගත යුතුවේ.  

බිඟුන් මේනක ගමගේ