යූරියා පොහොර ගැටලුවෙන් ගොවි-නිලධාරී දෙපිරිසම අපහසුවක

0
22

ඉන්දියාවෙන් ගෙන්වා වී ගොවීන්ට බෙදා දෙන යූරියා පොහොර නිසි ප්‍රමාණය නොලැබීම නිසි බර ප්‍රමාණය නොතිබීම නිසා ගොවීන් මෙන්ම ගොවිජන සේවා නිලධාරීහු දැඩි  අසීරුතාවකට පත්ව සිටින බව දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් 18 දින වාර්තා විය. කෘෂිකර්ම අමාත්‍යාංශය  මඟින්  කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් දහදාහක මුදලකට ගොවි සංවිධානවලට නිකුත් කිරීම දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී 18 දින ආරම්භ විය.

එහිදී අක්කර එකකට යූරියා පොහොර කිලෝ හතළිහක් ලබාදීම රජයේ  ප්‍රකාශ කොට තිබිණි. දඹුල්ල ගොවිජන සේවා කාර්යාලය මඟින් අක්කර 1ක වී වගාවට යූරියා කිලෝ 20ක ප්‍රමාණයක් පමණක් ලබාදෙන බව ගොවීන් චෝදනා කරන්නට වූහ. ගොවීන් නඟන මෙම චෝදනාව පිළිබඳව දඹුල්ල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී සම්පත් කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට   ලැබිය යුතු  පොහොර ප්‍රමාණය නොලැබීම නිසා මෙසේ අඩුවෙන් පොහාර ලබා දීමට සිදුවී ඇති බවය. තමන් වෙත ලැබී ඇත්තේ පොහොර මිටි 1500ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

එම නිසා  අක්කර එකකට කිලෝ 40 බැගින් ලබාදීමට නොහැකි නිසා සියලු දෙනාටම සාධාරණය ඉටු වීමට  කිලෝ 20 බැගින් ලබාදීමට තීරණය කර තිබියදී ගොවීන්ගේ චෝදනා සහ ගොවීන්ගේ නොසන්සුන්තාව නිසා ලැබී ඇති පෝර පැමිණෙන පිළිවෙළට අක්කර එකකට කිලෝ 40 බැගින් ගොවි සංවිධානවලට නිකුත් කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.  කෙසේ වෙතත් දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයට ලැබී තිබූ කිලෝ 50ක පොහොර  මිටියක කිලෝ 50ක ප්‍රමාණය නොමැති වීම නිසාත්  ගොවි සංවිධාන නායකයෝ  දැඩි අසීරුතාවකට පත්ව සිටි අතර ගොවීන්ගේ ඉල්ලීම මත ලැබී ඇති පොහොර  මිටි ගබඩාව තුළම ඇති තරාදියකින් කිරා බැලීමට ගොවීන් සමත් වූහ.  කිලෝ 50ක ප්‍රමාණයක් ඇති බව සටහන්ව තිබූ ඇසුරුම්වල විශාල වශයෙන් පොහොර අඩුවී තිබිණි. ඇතැම් ගෝනිවල කිලෝ 48,47,49, ඒ සමඟම කිලෝ පනහ වෙනුවට කිලෝ 40කද ඇතැම් ඇසුරුම්වල තිබිණි.

කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයන් කියා සිටියේ තමන්ට කිලෝ 50ක ප්‍රමාණයට රැගෙන ගොස් මේවා ගොවීන්ට කිරා බෙදා දීමට යද්දී බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට නිලධාරීන්ට සිදුවන බවය. කිලෝ 50ක ප්‍රමාණය නොමැතිවීම නිසා එක් අයකුට කිලෝ විස්සකට මුදල් ලබාගෙන ලබාදීමට හැක්කේ  අඩුවෙන් බවද ගොවීන් කියති. පොහොර බෙදා දීමේ සිද්ධිය තවත් ප්‍රශ්න රැසක් ගම් තුළ ගොවි සංවිධාන තුළ මතු වෙන බවද ගොවි නියෝජිතයෝ පෙන්වා දෙති.

දඹුල්ල – කේ.කේ. ආරියදාස