යළිත් රට පුරා කොවිඩ් අවදානමක්

0
39

කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාව යළි ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිතැයි පෙනී යන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ (18දා) ‘මව්බිම’ ට  පැවැසීය. මීට දෙසතියකට පමණ පෙර 10-12ත් අතර වූ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ (18දා) 62ක්ව තිබූ බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවන් ඇතුළු විවිධ අංශවල අර්බුද පවතින බැවින් මේ අවස්ථාවේ කොවිඩ් පැතිරීමක් සිදුවුවහොත් කවර තත්ත්වයක් උදාවේ දැයි සිතාගත නොහැකි බැවින්, සෞඛ්‍ය අංශ අනිවාර්ය කරන තුරු නොසිට මුව ආවරණ පලඳින්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම තුන්වැනි එන්නත් මාත්‍රාව ලබා නොගත්තේ නම් වහා එය ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තුන්වැනි එන්නත් මාත්‍රාව ලබා ඇත්නම් සිවුවන මාත්‍රාව ලබාගැනීම වඩාත් සුරක්‍ෂිත වනු ඇතැයිද කීය.

මේ අතර ලොව පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම රෝගීන් මෙරටට ඇතුළු වන්නේද  යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා ඇතුළු වන ස්ථානයන්හි කිසිදු පරීක්ෂණයක් නොකරන බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

එම රෝගීන් මෙරටට ඇතුළු වී ඇත්ද නැතිද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා අධ්‍යයනයක් කර නොතිබීම ඉතා අවදානම් තත්ත්වයක් බවද ඔහු පැවැසීය.

කෙසේ වුවද යම් යම් සැකකටයුතු ලක්ෂණ තිබෙන රෝගීන් මේ වන විට හමුවී ඇති බවද මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සිය අවධානය දැඩි ලෙස යොමු කළ යුතුව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජපානය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, පාකිස්තානය, ඉන්දියාව වැනි රටවලින් මෙම නව කොවිඩ් ප්‍රභේදයේ ලක්ෂණ සහිත රෝගීන් විශාල පිරිසක් හඳුනාගෙන ඇති බවද ඉන් බොහෝ දෙනකු මියගොස් ඇති බවද ඒ මහතා පැවැසීය.

මෙවැනි අවදානම් තත්ත්වයක් තුළ තවදුරටත් මුහුණු ආවරණ පැලඳීමට, සමාජ දුරස්ථභාවයක් තබාගැනීමට මෙන්ම මෙම රෝගය හා සම්බන්ධ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම ඉතා වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

විනීතා එම්. ගමගේ,

කුමුදු උපුල් ශාන්ත,

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර