මැර ප්‍රහාරයට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වර්ජනයක්

0
8

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ඉන්ධන ලබාගැනීමට මැදගම ඉන්ධන පිරවුම්හලට ගිය වෛද්‍යවරයකුට එල්ල කරන ලද මැර ප්‍රහාරයට විරෝධය පාමින් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැඟෙනහිර පළාත් සංවිධායක වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා සඳහන් කළේය.

වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධියට අදාළව තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුමට මුල්වූ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් කටයුතු නොකිරීම නිසා වර්ජනය ආරම්භ කළ බවද ඔහු පැවැසීය. එහෙත් හදිසි සේවාවන් පමණක් ලබාදෙන බවද ඒ මහතා කීය.

මෙම ගැටුමේදී තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල් සේවකයන් විසින් මැදගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට යවා තිබේ. දින ගණනාවකින් පසුව මැදගම ඉන්ධන පිරවුම්හලට ඩීසල් ලැබී ඇති අතර සෞඛ්‍ය සේවකයන්ට පමණක් ඩීසල් ලබාදීම ආරම්භ කිරීම නිසා ඊට විරුද්ධව එම ස්ථානයට පැමිණි පිරිස් කලහකාරී ලෙස කටයුතු කර ඇති අතර පොලිසියටද තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී තිබේ.

වෛද්‍යවරයා තුවාල ලබා ඇත්තේ ගැටුම අරම්භ වෙන අවස්ථාවේ යම්කිසි පුද්ගලයකු විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් හිසට වැදීම නිසයි.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි විශාල පිරිසකට ආපසු නිවෙස් බලා යෑමට සිදුව ඇති අතර වර්ජනය නිසා පවතින තත්ත්වය පාලනය කිරීමට සඳහා අම්පාර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් වෛද්‍ය නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

අම්පාර – ධනුෂ්කා දිල්හාණි