බුලත්කොහුපිටිය අලවතුර ඇළේ මියගිය පුද්ගලයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

0
8

කෑගල්ල බුලත්කොහුපිටිය අලවතුර ඇළට වැටී සිටියදී රෝහල්ගත කළ පසු මියගිය පුද්ගලයකුගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදීමට උඳුගොඩ තෙලිජ්ජගොඩ කදුඅහපත්තුව හදිසි මරණ පරීක්‍ෂකවරයා ඊයේ (18දා) පියවර ගත්තේය.

මෙලෙස මිය ගොස් සිටියේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ, අලවතුර, කෑගල්ල පාරේ, අංක ජී. 118 ලිපිනයේ පදිංචිව සිටි මහදුරගේ පියසේන නමැති 66 හැවිරිදි දෙදරු පියෙකි.

මිය ගොස් ඇති දෙදරු පියාගේ නිවෙස කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති බවත් නිවෙසේ සිට මීටර් 30ක් පමණ අෑතින් අලවතුර ඇළ ගලා බසින බවත් එම ඇළේ සිටින මාළුවන්ට නිතර නිතර ඔහු කෑම දෙන බවත් සිද්ධිය පිළිබඳ කළ මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව බුලත්කොහුපිටිය පොලිසිය කියයි.

ඉකුත් 16 වැනිදා සවස අලවතුර ඇළේ මුණින් අතට පුද්ගලයකු වැටී සිටින අයුරු ප්‍රදේශයේ තරුණයකු දැක එම පුද්ගලයා කාගේ කවුද යන්න පිළිබඳ හඳුනාගත නොහැකිව අසල නිවෙසකට ගොස් සිද්ධිය දන්වා ඇති බවත් පොලිසිය පැවැසීය. ඒ අනුව එම නිවෙසේ සිටි තරුණායා ඇළට ගොස් බලන අවස්ථාවේදී ඒ සිය පියා බවට හඳුනාගෙන ගොඩට ගෙන කඹගමුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.

පසුව කඹගමුව ග්‍රාමීය රෝහලේදී මූලික ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ඔහු මිය ගොස් ඇති අතර දේහය පෙරේදා (17දා) පෙරවරුවේ කෑගල්ල මහ රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන යෑමට කටයුතු සිදු කර තිබිණි.

ඊයේ (18දා) පෙරවරුවේ මිය ගොස් ඇති පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය  නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න විසින් සිදු කෙරිණ. වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවට අනුව හා ඥාතීන්ගේ ප්‍රකාශවලට අනුව මරණයට හේතුව ප්‍රකාශ කිරීම කල් තබා විවෘත තීන්දුවක් ලබාදීමට තෙලිජ්ජගොඩ කදුඅහපත්තුව හදිසි මරණ පරීක්ෂක ජී. ඒ. එන්. එල්. කුමාර පියවර ගත්තේය.

දමුණුපොළ – චමින්ද ජයලත්