බස් ගාස්තු සංශෝධන සූත්‍රය ව්‍යවස්ථාවටත් වඩා පැටලිල්ලක්

0
14

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු බවත් එයට සාපේක්ෂව අවම බස් ගාස්තුව රුපියල් තිහ දක්වා පහත දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පැවැසීය.

විවිධ අවස්ථාවල ඉන්ධන මිල ඉහළ යෑමේදී බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරන බවත් බස් ගාස්තු පහළ දැමීමට යොමු නොවීම පිළිබඳව තම සංගමය කනගාටු වන බවත් ඔහු සඳහන් කළේය.

වර්තමානයේ පවතින බස් ගාස්තු සංශෝධන සූත්‍ර‍ය, ව්‍යවස්ථාවටත් වඩා පැටලිලි සහගත බවත් එයට විසඳුමක් ලෙස විද්‍යාත්මක ලෙස බස් ගාස්තු සංශෝධනයක් කරන ලෙස තම සංගමය වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය. ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමත් සමඟ එම වාසිය ජනතාවට ලබාදීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ අතර පැවැසීය.

ඉන්ධන මිල අඩු කිරීම මේ මොහොතේ අති විශාල සහනයක් බවත් එම ඉල්ලීම බස් සංගම් කිහිප විටෙකදීම රජයෙන් ඉල්ලා සිටි නමුත් එය ක්‍රියාත්මක නොවුණු බවත් හෙතෙම කීය.

ඉන්ධන මිල අඩු කිරීමත් සමඟම බස් සඳහා ඩීසල් ලබාදීමේ කටයුතු කඩිනම් කිරීම මඟින් ජනතාවට ඒ වාසිය ලබාදීමට හැකි බවත් බස් ගාස්තු සංශෝධනය වීමෙන් ගමනාගමනය සඳහා මඟින් නැවත වරක් බස් සඳහා යොමු වනු ඇති බවත් ඔහු සඳහන් කළේය. බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4%ක ප්‍රතිශතයකින් ඩීසල් මිල සංශෝධනය කිරීමෙන් පසු බස් ගාස්තු සංශෝධනයකට යෑමට සූදානම් බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවැසීය.

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව දාහත් (17) වතාවක් බස් ගාස්තු ඉහළ දමා තිබෙන බවත් එයට සාපේක්ෂව තුන් වතාවක් ගාස්තු පහළ දැමීමට කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන