බල ලෝභයෙන්-දූෂණයෙන් තොර නායකයෙක් හෘද සාක්ෂියට එකඟව තෝරාගන්න දායක වන්න

0
16

බලලෝභයෙන් සහ දූෂණයෙන් තොර කැපවීමෙන් යුත් නායකත්වයක් තෝරා ගැනීමට තම හෘද සාක්ෂියට එකඟව උපරිම දායකත්වය ලබා දෙන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්  කරති.

මේ ඓතිහාසික අවස්ථාව අතපසු කර නොගන්නා ලෙසත් උන්වහන්සේ පවසති.

තීරණාත්මක මොහොතක තම පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ ඒවා ජයගැනීම සඳහා කෙරෙන මුදලට මන්ත්‍රිවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙක ලා මාතෘභූමියේ සහ එහි ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට කැප වන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ඉල්ලීමක් කරති.

රටේ මහ ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් ලෙස මේ මොහොත වන විටත් රටේ ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති, සියලු දෙනාටම පිළිගත හැකි තාවකාලික දේශපාලන විස¾දුමකට යෑමට නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත්වන ලෙසද එම ලිපියෙන් උන්වහන්සේ ඉල්ලා සිටිති.

උග්‍ර ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයකට රට මැදිව සිටින මෙවන් තීරණාත්මක මොහොතකදී සියලු දෙනා එකට එක්වී පොදු ජනාධිපති අපේක්ෂකයකු සහ අගමැතිවරයකු තෝරා ගැනීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ තවමත් පොදු ජනතා අභිලාෂයන් මහජන නියෝජිතයන් හරිහැටි අවබෝධ කරගෙන නොමැති බවට කාදිනල් හිමියෝ චෝදනා කරති.

සියලු විධායක බලතල සහිත ජනාධිපතිවරයකුට බලයේ සිටියදීම, බලය අතහැර යෑමට සිදුවීම ඉතිහාසයේ මින් පෙර අප අසා නැති ආකාරයේ දුර්ලභ අවස්ථාවක් බව උන්වහන්සේ පෙන්වා දෙති.

රටේ හෙට දවස සම්බන්ධයෙන් ගතයුතු අතිශයින්ම තීරණාත්මක තීන්දුව දෙකෝටියකට වැඩි ජනතාවගේ අපේක්ෂාවන්ට අනුව සිදුවෙතැයි මුළු රටේම මහජනතාවත් ජගත් ප්‍රජාවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙස ඉතා ඕනෑකමින් බලා සිටින බවද උන්වහන්සේ සිය ලිපියෙහි දක්වා ඇත.

සෑම අතින්ම අන්ත අසරණ දිළි¾දුභාවයට සහ සම්පූර්ණ බංකොලොත් බවට ඇද දමන තුරු අපමණ දුක් ගැහැට විඳිමින් කාලයක් තිස්සේ ඉතා ඉවසීමෙන් මහජනතාව සියල්ල විඳ දරාගත් බවද උන්වහන්සේ පෙන්වා දෙති.

තවත් ඉවසනු නොහැකි තැන හැමතැනින්ම වීථී බැස ජන ගඟක් සේ අගනුවරට ඇදුණු ජනතාව ඉල්ලා සිටියේ මේ පව්කාර බලය අතහැර සැනසීමක් දෙන ලෙස බව කාදිනල් හිමියෝ පවසති.

හාස්කමකින් මෙන් විශාල ලේ වැගිරීම් වැළකී ඉටු වූ ජනතා අපේක්ෂා හමුවේ දැන් කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්දැයි ඕනෑම කෙනකුට ඕනෑවටත් වඩා පැහැදිලිව පවතින බවද උන්වහන්සේ සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

එසේ තිබියදී  අතිශයින්ම තීරණාත්මක මේ අවස්ථාවේදී රටේ සමස්ත මහජන මතයට සම්පූර්ණයෙන්ම පටහැනි තීරණයක් රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රැස්වී ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් පවතින බවද කාදිනල් හිමියෝ පෙන්වා දෙති.

සෑම අතින්ම පීඩාවට පත් වූ ජනතාව තමන්ට ඉතිරි වී ඇති එකම ශක්තිය වන චිත්ත ධෛර්යය පෙරටු කරගෙන, ජීවිත අවදානම පවා නොතකා සංයමයෙන් සහ අවිහිංසාවෙන් කළ අරගලය තුළ සමස්ත පාලන තන්ත්‍රයේම විශාල සාධනීය වෙනසක් ඇති වේ යැයි බලාපොරොත්තුවෙන් සිටින බව උන්වහන්සේ සිය ලිපියෙහි දක්වා ඇත.

විධායක ජනාධිපති ධුරයේ බලය සිය අතේ තිබියදී, බලය රැක ගැනීමට බැරිව බලයත් රටත් අතහැර යෑමට සිදු වූ හිටපු ජනාධිපතිතුමා මුහුණ දුන් අත්දැකීමත් අපකීර්තියත් දෙස බැලුවොත් බලයට ගිජුකමක් ඇතිවෙයිද යන්න සහ ජනාධිපති පුටුවට පත් වීමෙන් අප රටේ බොහෝ ජනාධිපතිවරුන්ට සිදුවූයේ, ජනාධිපති වෙන්නට මත්තෙන් ඔවුන්ට තිබූ ජනතා ප්‍රසාදයත්, කීර්ති නාමයත් අහිමි වී ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වීම නොවේද යන්න කාදිනල් හිමියෝ ප්‍රශ්න කරති.

වෙන කවරදාටත් වඩා අද අප රට පිබිදීමටත් ජනතාවගේ චිත්ත ශක්තිය නැංවීමටත් සමත්වන්නේ බලයට කැමැති නායකයෙක් බලයට පත්වීමෙන් නොව තමන් සතු බලය කැමැත්තෙන් අත්හැරීමට කැමැති වන උදාර ජනතා පුත්‍රයකු එසේ කිරීමට පෙරට ඒමෙන් බව උන්වහන්සේ පවසති.

වසර 74ක දේශපාලන ඉතිහාසයේ දැන් පැමිණ ඇත්තේ දේශපාලන බලය අල්ලා තබා ගැනීමෙන් නොව ස්වකැමැත්තෙන් එය අතහැරීමට සමත් වුණොත් ඉහළම සේවය රටට කිරීමට සමත්වන සංධිස්ථානයක යැයි කාදිනල් හිමියෝ සඳහන් කරති.

එම නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී ජනතා නියෝජිතයන් ලෙස ජනතාව ලද ජය, පෙරළා යළි ජනතාවට පුදනවාද නැත්නම් බලහත්කාරයෙන් හරි එය ළඟ තබා ගන්නට සැලසුම් කරනවාද යන්න තීරණය කළ යුතු බව උන්වහන්සේ සිය ලිපිය ඔස්සේ මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රශ්න කර සිටී.

අසීමිත බලතල දරා සිටි හිටපු ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක බහුතරයක් සහිතව බලයට පත්වූ පොදුජන පෙරමුණ ආණ්ඩුවත් ජනතාව බලයෙන් පහකළේ අප රට අද මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව විඳින බරපතළ පීඩනයට මුළුමනින්ම පාහේ වගකිව යුත්තේ හිටපු ජනාධිපතිවරයා සහ එම ආණ්ඩුව බව ජනතාව විසින්ම අවබෝධ කරගත් නිසා යැයි උන්වහන්සේ සිය ලිපියෙහි දක්වා ඇත.

ජනාධිපතිවරයා සහ රජය විසින් ගන්නා ලද අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ ඉහවහා ගිය දූෂණ සහ වංචාවන් නීතියේ ආධිපත්‍යය දේශපාලනික බලපෑමට යටත් වීම සහ අතිශය දූෂිත දේශපාලනික සංස්කෘතිය ආදි හේතු ගණනාවක් රට ආර්ථික බංකොලොත් බවට පත් වී ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපකීර්තියට පත්වීමට බලපෑ බව කාදිනල් හිමියෝ පවසති.

සවනි ශේශාධි