පෝලිම්වල මැරෙන යුගය නිමවා දේශපාලන ස්ථාවරයක් ඇති කරන්න විපක්ෂයට අවස්ථාව දෙන්න

0
107

පෝලිම්වල මැරෙන යුගය අවසන් කර දේශපාලන ස්ථාවරයක් ඇති කිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදෙන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ කීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“රටේ වර්තමාන තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැහැ. වෙනදාටත් වැඩිය දිග තෙල් පෝලිම්. එය කවදාද කෙටි වෙන්නේ. පෝලිමේ ඉන්නේ නැතුව කොහොමද ජනතාව තෙල් ගහන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. දෛනිකව ඇතිවෙලා තියෙන ප්‍රශ්නවලට විස¾දුම් තමයි ජනතාව බලාපොරොත්තු වන්නේ. පවුල් පාලනයට විරුද්ධව මේ රටේ ඇතිවුණු ජන අරගලය ගෝඨාභය රාජපක්ෂ රට දාලා යන තැනට පත්වුණා. ඒ එක්කම දැන් ඇවිත් තියෙන්නේ පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් පත් කරගන්න අවස්ථාව.

69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත් කරගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරපු වැඩ නිසා මේ රටේ ජනතාවට අද එදිනෙදා තමන්ගේ ජීවිතය ගත කරන්න බැරි තැනට පත්වෙලා. භාණ්ඩ මිල අහස උසට නැඟලා. පෙට්රල් හිඟ වෙලා. ගෑස් හිඟ වෙලා. ජනතාව මහමඟ මැරෙන තැනට පත්වෙලා. තමන්ගේ දරුවන්ට තුන්වේලක් නෙවෙයි එක වේලක් කන්න දෙන්න බැරි තැනට පත්වෙලා. එහෙම අවාසනාවන්ත තත්ත්වයට පත්වෙලා. අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු 225 දෙනාට වරමක් ඇවිත් තිබෙනවා මේ රටේ අනාගතය තීන්දු කරන්න. ඉතිරි කාලසීමාවට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක් පත්කරන්න. එහිදී මන්ත්‍රිවරුන්ට වගකීමක් තියෙනවා අරගලය ඇතුළු ජනතාව මොකක්ද කියන්නේ, ඉල්ලීම් මොකක්ද දෛනිකව ජනතාවට තියෙන ප්‍රශ්න විසඳ ගන්න. රටේ දේශපාලන ස්ථාවරයක් ඇති කරගන්න අවශ්‍ය පියවර ගැනීම තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ වගකීම.

අද රටේ ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජන බලවේගය පක්ෂය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පහුගිය මහ මැතිවරණයට සති කිහිපයක් තියලා ආරම්භ කරන පක්ෂයක්. මේ පක්ෂය රටේ ජනතාව ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 54 දෙනෙක් සමගි ජන බලවේගය හා ඒකාබද්ධව එකතු වෙලා පක්ෂවලට ලබාදුන්නා. මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඒක වාර්තාවක්. ඉතා කෙටි කාලයක් තුළ හදපු පක්ෂයක් මාස කිහිපයක් තුළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන 54ක් සන්ධානයක් විධියට ලබාගත්තා. බණ්ඩාරනායක මහත්තයා මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ගන්න පුළුවන් වුණේ ආසන නවයයි. දෙවැනි වතාවේ තමයි එතුමා ආණ්ඩුවක් ගත්තේ.

අද සමගි ජන බලවේගය අවතක්සේරු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. පාර්ලිමේන්තුව තුළ අද විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය නායකතුමා ඔහු. විකල්ප ආණ්ඩුව සියලු පක්ෂ එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධව රාජපක්ෂ පාලනය අවසන් කරන්න රටේ ජනතාව අරගල කළා. ඒ අරගලය තුළින් ගෝඨාභය රාජපක්ෂ රටින් පලවා හරින්න රටේ ජනතාවට හැකියාව ලැබුණා. එහෙමනම් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ 225 එකතුවෙලා මොකක්ද කරන්න ඕනෑ. මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුල් පාලනය විතරක් නෙවෙයි පොදු සන්ධාන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න ඕනෑ. ඇමැතිවරු සියලුදෙනාම වගකියන්න ඕනෑ අද රටේ තියෙන තත්ත්වයට.

කැබිනට් මණ්ඩලය එකතු වෙලා තමයි පොහොර තහනම් කරන්න තීන්දු ගත්තේ. ජනාධිපතිතුමා ඒ තීන්දුව ගන්නකොට කැබිනට් මණ්ඩලය බලාගෙන හිටියා. එයාලා එකතු වෙලා තමයි බදු සහන දෙන්න කටයුතු කළේ. ගජ මිතුරන්ට අවස්ථාව ලබාදුන්නේ රාජපක්ෂ පවුල විතරක් නෙවෙයි. අපි පැහැදිලිවම කියනවා අද ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිටපු සියලු දෙනා මේකට වගකියන්න ඕනෑ. අපි නිතරම ඒ ගැන කතා කළා. සමගි ජන බලවේගය බදු සහන බිලියන ගණන් දෙනකොට ඒවා රටට අහිමි වෙනවා කියලා කිව්වා. ඒවා කනට ඇහෙන්නේ නෑ වගේ වැඩ කළා. පාර්ලිමේන්තුව තුළ අපිව සමච්චල් කරන්න ගත්තා. එහෙම නම් ඒක රාජපක්ෂවරු විතරක් නෙවෙයි සියලුදෙනා වග කියන්න ඕනෑ.

වැටිලා තියෙන තැනින් ගොඩගන්න විකල්ප ආණ්ඩුව විපක්ෂයට අවස්ථාව ලබාදීලා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ඉදිරි කාලයේ ජනාධිපතිවරයා හැටියට පත් කරගන්න අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉල්ලීම කරන්නේ. ඒ සඳහා  අවශ්‍ය පියවර ගන්න. අපි අරගලයටත් ජනතාවටත් කියනවා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න. මොකද රටේ ජනතාවගේ බලාපොරොත්තුව නැවත වතාවක් මේ රටේ ජනතාව මේ තත්ත්වයට ඇද දාපු ඒ කණ්ඩායමට නැවත බලය ලබාදීම නෙවෙයි.”

නිර්මාණි ගුණරත්න