පිරිමි නැතුව දරුවො හදන්න ගැහැනුන්ට කියලා දෙන IVG

0
69

ලිංගිකත්වය කියන්නෙ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන වචනය. වැඩියෙන්ම මතභේදයන්ට තුඩුදෙන වචනය. කලාව, සාහිත්‍ය ඇතුළෙ සුන්දරව ගළපලා  රහට  විඳින්න විතරක් නෙමෙයි විද්‍යාව සහ තාක්ෂණය ඇතුළෙත් තවමත් නොසංසි‍ෙ¾දන කුතුහලයෙන් යුක්තව සොයන වචනය.

ලිංගිකත්වයේ ප්‍රථම සහ ප්‍රාථමිකම පියවර ගැහැනු සහ පිරිමි එකතුවකින් සෑදෙන දරුවෙක් කියලා හ¾දුන්වන්න පුළුවන්. 

එවිට සමලිංගිකයන්, ද්විලිංගිකයන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් දරුවන් සාදන්නේ කොහොමද?

ඔවුන්ද මේ ලෝකයේ කොටස්කරුවන්. ඔවුන්ගේ හැඟීම් ද අතිශය ස්වාභාවික සහ සාමාන්‍ය  තත්ත්වයක්.

සමලිංගික යුවළකට ඔවුන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් සෑදීමේදී බාධා ඇති වීමක් තිබෙනවා. එයට හේතුව එම දෙදෙනාම අයත් වන්නේ එකම ලිංගිකත්වයකටයි.

නමුත් එය බිඳහෙළීය හැකි සහ ඔබව මවිත කළ හැකි සොයා ගැනීම් ලෝකයේ මේ වනවිට තිබෙන බව ඔබ දන්නවාද?

2013 වර්ෂයේදී  ආචාර්ය බැරී ස්ටාර් විසින්  මෙම සංසිද්ධිය පහත ආකාරයෙන් පැහැදිලි කර තිබෙනවා.

 ගැහැනු ඩිම්බයක වර්ණදේහ 23ක් තිබෙන  අතර පිරිමි ශුක්‍රාණුවකද වර්ණදේහ 23ක් තිබෙනවා. එක් ඩිම්බයක DNA තවත් ඩිම්බයකට එකතු කිරීමෙන් ඔබට මවුවරුන් දෙදෙනකු සිටින දරුවකු සෑදිය නොහැකියි. ප්‍රතිඵලය ලෙස ලැබෙන කලලයට සාමාන්‍ය වර්ණදේහ 46ක් තිබුණත් මෙය පලදායී වන්නේ නැහැ.

එයට හේතුව නම්  සෑම මවුපියකුගේම DNA අද්විතීය වන අතර එම දෙදෙනාම දරුවකු සෑදීමට අවශ්‍ය වීමයි.

සමලිංගික මවුපිය යුවළකට ජීව විද්‍යාත්මක දරුවකු ලබාදීමේදී පර්යේක්‍ෂකයන්ට බොහෝ විට නිර්මාණශීලී වීමට සිදු වෙනවා.  එක් ක්‍රමයක් විය හැක්කේ ප්‍රාථමික සෛල භාවිත කිරීමයි.

මවුවරුන් දෙන්නෙක්, පියවරුන් දෙන්නෙක් පිළිබඳව සිතන්න. එම යුවළවල් ඔවුන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් සෑදීමට කැමතියි.

එක් කාන්තාවකගේ ඩිම්බයක් තුළ ඇති DNA ශුක්‍රාණුවක් මෙන් සෑදීමට උත්සාහ කරනවා වෙනුවට,  ඇයගේ සෛල ශුක්‍රාණු බවට පත් කළොත් කුමක් සිදු වේවිද? එසේත් නැතිනම් පිරිමි සෛල ඩිම්බයන් බවට පත් කිරීමට  කුමක් සිදු කළ යුතුද? එසේ සිදු කළහොත් පිරිමින් දෙදෙනකුටද  දරුවකු නිර්මාණය කරන්න පුළුවන්.

නමුත් පිරිමි සෛල ඩිම්බ බවට පත් කිරීම හෝ ගැහැනු සෛල ශුක්‍රාණුවක් බවට පත් කිරීම බොහෝ විට දුෂ්කර කාර්යයක්.

ප්‍රාථමික සෛල තාක්‍ෂණයේ නව ප්‍රගතිය සමලිංගික යුවළ සඳහා සම්පූර්ණයෙන්ම තමන්ගේම දරුවකු ලැබීමට මඟ පාදන නව ච්න්තනයක් ලෙස දක්වන්න පුළුවන්.

ක්ෂීරපායී සත්ත්වයන් ගත්තොත් ඔවුන්ගේ ශරීරයේ සෑම සෛලයක්ම ජානමය ද්‍රව්‍ය කට්ටල දෙකක් රැගෙන යනවා. එක කට්ටලයක්  මවගෙන් උරුම වෙනවා.  අනෙක් කට්ටලය පියාගෙන් උරුම වෙනවා. නමුත් ඩිම්බ සහ ශුක්‍රාණු පිළිබඳ කතන්දරය මෙයට ව්‍යතිරේකයක්. ඔවුන්ට තිබෙන්නෙ එක් කට්ටලයක් පමණයි. ශුක්‍රාණුවක් ඩිම්බයක් සංසේචනය කළ පසු එය ඒකාබද්ධ වෙනවා.

1980 ගණන්වල මැද භාගයේ මේ පිළිබඳව සුවිශේෂී අත්හදා බැලීම් සිදු කෙරුණා. පර්යේෂකයන් විසින් අලුතින් සංසේචනය කරන ලද මීයන්ගේ බිත්තරවලින් මාතෘ හෝ පීතෘ ජානමය දායකත්වය ඉවත්  කළා. ඉන්පසුව, ඔවුන් ස්ත්‍රී ප්‍රවේණි ද්‍රව්‍ය ස්ත්‍රී හෝ පිරිමි  ප්‍රවේණි ද්‍රව්‍ය කට්ටල දෙකක් සමඟ වෙනත් මීයකුගේ දෙවන ජාන කට්ටලයකට මාරු කළා.

ඔබ සිතන පරිදි ප්‍රතිඵලය කුමක් වෙන්න ඇත්ද?

මී කලලයක් පිළිසිඳ ගත්තත් උපත ලද මී පැටවු කිසිවකු දිවි ගලවා ගත්තේ නැහැ.

නමුත් 2018 ඔක්තෝබර් මාසයේදී පර්යේෂකයන් මීයන් තුළ තිබූ මෙම නොහැකියාව අභියෝගයට ලක් කර ජය ගත්තා. බෙයිජිං හි චීන විද්‍යා ඇකඩමියේ වේ ලි සහ ඔහුගේ කණ්ඩායමක් මවුවරුන් දෙදෙනකුගෙන් නිරෝගී මීයන් බිහි කරන පර්ෂණය සාර්ථකව සිදු කළා. පර්යේෂකයන් පළමුවරට පියවරුන් දෙදෙනකුගෙන් මී පැටවුන් නිර්මාණය කළා. නමුත් පැටවා ඉපදී දින කිහිපයකට පසු මිය ගියා.

කලලවලින් 1%කින්  අඩකටත් වඩා, අඩු කාලයක් එනම් දින දෙකක් පමණ ජීවත් වුණා. කිසිවකු වැඩිහිටි වියට පත් වූයේ නැහැ.

කෙසේ වුවත් පර්යේෂණය සාර්ථක මට්ටමක තිබියදීත් බෙයිජිංහි චීන විද්‍යා ඇකඩමියේ ලී පවසන්නේ මෙම තාක්ෂණය මිනිසුන් තුළ භාවිත කිරීමට සූදානම් නැති බවයි.

ඉන් in vitro gametogenesis හෝ IVG නමින් හැඳින්වෙන්නේ සමලිංගික යුවළ සඳහා ඔවුන්ගේම දරුවන් ඇති කර ගැනීමට උපකාරී කළ හැකි නව තාක්ෂණයක්.

වර්තමානයේ මෙහිදී  වැඩිහිටි සෛල, ශුක්‍රාණු සහ ඩිම්බ  සෛල බවට පත් කිරීම මඟින් විද්‍යාගාරයක් තුළ කලල වර්ධනය කිරීමට ඉඩ සලසා දෙනවා.

විද්‍යාඥයන් මෙම ක්‍රමය භාවිත කර ශරීරයේ අනෙකුත් සෛලවලින් ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවනවා. එසේ කිරීම සඳහා ජීව විද්‍යාඥයන් පළමුව වැඩිහිටි සමේ සෛල ප්‍රාථමික සෛල බවට පත් කිරීම සිදු කරනවා.

සමලිංගික යුවළවල් සඳහා දැනට පවතින තාක්ෂණික ක්‍රම අතරින්, IVG අද්විතීය වන්නේ එහි ප්‍රයෝගික මට්ටම වැඩි නිසා බව කිව හැකියි. මෙම ක්‍රමයේදී සමලිංගික යුවළ සඳහා ජානමය වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාවක් සැලසෙනවා.

වර්තමාන ලෝකයේ තරුණ පරම්පරාව ලිංගිකත්වය පිළිබඳව ඉතා ලිහිල් සහ මානුෂීය ප්‍රතිපත්තියක් බෙදාහරිනවා.

වඩා වැදගත් වන්නේ මිනිසකුගේ ලිංගික දිශානතිය නොව එම පුද්ගලයාගේ අගනාකම් හා වටිනාකම්ය. ලිංගිකත්වය යනු එකිනෙකාගේ පෞද්ගලිකත්වයේ සංකේතයක් පමණයි. ඒ මත කිසිවකු මැන බැලීම සිදු නොකිරීමට තරම් වර්තමාන මනුෂ්‍යයා දියුණු තත්වයකට පත්ව තිබෙනවා.

මෙම නව තාක්ෂණය පිළිබඳව කතා කිරීමේදී ස්වභාවධර්මයට මෙපිටින් දරුවන් ලබා ගැනීමට උත්සාහ දැරීමක් යැයි සමහරන් තර්ක කළත් ඔවුන්ට දිය හැකි සෘජු පිළිතුරක් තිබෙනවා.

“විද්‍යාව යනු ස්වභාවධර්මය අභිභවා යෑමක් නොව ස්වභාවධර්මයට සිදු කළ හැක්කේ කුමක්ද යන්න ගවේෂණය කිරීමකි. වඩා වැදගත් වන්නේ සැඟවී ඇති දෑ සොයාගෙන මනුෂ්‍යයාට සේවය කිරීමයි. විද්‍යාවේ පුනරුදය මෙලොව බිහිවූ අපූර්වතම පෙරළියක් වන්නේ එබැවිනි.”

තාරිකා ද සිල්වා