පා ගමනින් ගිය අඹුසැමි යුවළ යටකර වෑන් රිය පලා ගිහින්

0
8

මොනරාගල-වැල්ලවාය මාර්ගයේ බුත්තල කුඩාඔය, බුරුත හන්දිය අසලදී පෙරේදා (17දා) සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් ඇත.

මියගොස් ඇත්තේ බුත්තල, කුඩාඔය පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරන නාලක මධුරංග (42) නැමැති අය සහ ඔහුගේ බිරිය වන සඳුනි දිලානි ධර්මරත්න (35) යන දෙදෙනා වෙති.

බිරිය නවමස් ගැබිනියක් වන අතර ඇගේ කුසේ සිටි බිලිඳාද අනතුරෙන් මියගොස් තිබේ.

මෙම යුවළ බුත්තල තම නිවෙසේ සිට වැල්ලවාය දෙසට පා ගමනින් යමින් සිටියදී බුත්තල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඔවුන් දෙදෙනා යට කරගෙන පලාගොස් ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළ බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර ඒ වනවිටත් කාන්තාවගේ කුස තුළ සිටි දරුවාද මියගොස් සිටි බව පොලිසිය පවසයි.

පසුව පොලිසිය මඟින් අනතුර කළ වෑන් රථය කුකුරම්පොළ ප්‍රදේශයේ සඟවා තිබියදී එහි රියැදුරු ලෙස කටයුතු කළ ආබාධිත විශ්‍රාමික යුදහමුදා සෙබළකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

බිබිල – නඳුන් ගුණතිලක