පාස්කු ප්‍රහාරය ගැන සොයන්න රනිල්ගෙන් පොරොන්දුවක්

0
28

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් වූ සියලු  වාර්තා සැලකිල්ලට ගෙන එක්සත් රාජධානියේ සහායද ලබාගනිමින් ඒ ගැන නැවත සමලෝචනයක් කරන්නේ යැයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18දා) පැවැසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගැටලුව තවමත් විසඳී නැත්තේ ඒ ගැන විධිමත් පරීක්ෂණයක් නොපැවැත්වීම හේතුවෙන් යැයිද වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීය.

විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18දා) මෙසේ පවසා ඇත.

මැයි 13 වැනිදා තමන් අගමැතිවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එතැන් සිට මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩු කර, ගොවි ජනතාවට පොහොර ලබාදී, රටේ ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බවද වැඩබලන ජනාධිපතිවරයා පැවැසීය.

ජූලි මාසය ඉන්ධන සැපයීමට අපහසු කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බවත් කෙසේ වෙතත් මේ වන විට ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වැනිදා සිට පෙට්රල් ද බෙදා හැරීමට නියමිතව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.

මම මැයි 13 වැනිදා අගමැතිකම භාර ගත්ත අවස්ථාවේදී ආර්ථිකය කඩා වැටීමෙන් රටේ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තිබුණා. ඒවා විසඳගන්න තමයි මම ක්‍රියා කරලා තියෙන්නේ.

එදා විදුලි බල කප්පාදුව පැය 5යි. අද ඒක පැය තුනකට අඩු කරලා තියෙනවා. යල කන්නයට අද පොහොර තිබෙනවා. ඒ වගේම මහ කන්නයට වුවමනා පොහොර තමයි දැන් අපි ලබා ගන්න ක්‍රියාකරගෙන යන්නේ. අපි කැමැතියි මහ කන්නයේදී ආපසු ආහාරවලින් ස්වයංපෝෂිත වෙනවා නම් ඒ අරමුණ අමතක කරන්නේ නැහැ.

අද ගෑස් අඛණ්ඩව ලබා දෙන්න පුළුවන් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඩීසල් අපි අඛණ්ඩව ලබාදෙනවා. පෙට්රල් ගැන මෙතෙක් ප්‍රශ්නයක් තිබුණා.

මම ජුනි මාසේ ප්‍රකාශ කළේ ජූලි මාසේ සති තුනක් තමයි අපිට අමාරුම කාලය වෙන්නේ. ඉන්ධන ලබාගන්න දැන් ජූලි 21 වැනිදා ඉඳන් පෙට්රල් ලබාදෙන්න අපිට පුළුවන්. පෙට්රල් සඳහා ලෝක මිල අඩු වූ නිසා ඒ මිලේ ඒ වාසිය අපි මේ රටේ පාරිභෝගිකයන්ට ලබා දෙනවා.

ඒ වගේම ගොවි ණය දැන් අහෝසි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ අක්කර 2 1/2ක් කුඹුරු තියෙන අයට. ආර්ථිකය හදාගන්න ධ්ර්ජ්  සමඟ සාකච්ඡා ආරම්භ කළා. මිත්‍ර රටවල් එකක්් කතා කරගෙන යනවා. මේ ආර්ථිකය කඩා වැටීමෙන් විශාල පාඩුවක් අපිට ඇති වෙලා තියෙන්නේ. ඒවාට මුහුණ දෙන්න ක්‍රියා මාර්ග අපි සකස් කරන්න තිබෙනවා.

මේ කාලය තුළදී ආහාර ගැන ප්‍රශ්න තියෙන, අඩු ආදායම්ලාභීන් ඉන්නවා. ඒ සියලුදෙනාටම ආහාර ලබා දෙන්න අපි ක්‍රියා කරනවා. ආහාර සුරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතිං මේ වගේ ප්‍රශ්න ගණනාවක් අද අපේ රටේ තියෙනවා.

තව එක ප්‍රශ්නයක් තමයි පාස්කු ඉරිදා බෝම්බය. ඒ වැඩකටයුතු එකක්වත් අවසන් නොවීම ගැන. මගේ කැපවීම මේ ප්‍රශ්නය විසඳලා දාන්න. හැමදාම මේ ප්‍රශ්නය අපි ඇදගෙන යන්න වුවමනා නැහැ. ඒ කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තිබෙනවා. ඒ නිසා මම කැමැතියි මේ ගැන යළිත් සමාලෝචනයක් කරන්න. ඒ සඳහා එක්සත් රාජධානියේ සහාය ගැනීමට අපේක්ෂා කරනවා. මේ රටේ තියෙන ජනතාව බෙදුණ එක විශාල  ප්‍රශ්නයක්.

ඒ වගේම 19 වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න කියලා ඒ කෙටුම්පත් සකස් කරන්න කියලා මම දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය ගැන. 19 වැනි සංශෝධනයෙන් පසුව මේවා ගැන සාකච්ඡා කරන්න අපිට අවස්ථා ලැබෙනවා. ඒත් ඒ වගේම මේ රටේ අද නීතිය කැඩීමේ ව්‍යාපාරයක් තියෙනවා. අපිට තියෙන්නේ ඒකට විරුද්ධව නීතිය හා සාමය ආරක්ෂා කරන්න. ෆැසිස්ට් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ඒ වගේම මම පිළිගන්නවා සාමකාමී අරගලකරුවන් අරගලයේ යෙදිලා සාමකාමීව මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා කියන අය. මමත් හිතන්නේ මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න වුවමනායි. සමහර ප්‍රශ්න ගැන අපිට එකම අදහස් තියෙනවා. සමහර ප්‍රශ්න ගැන වෙනම අදහස් තියෙනවා. සාමකාමී අරගලකරුවන්ට මේ රටේ මේ ක්‍රමවේදයේ වෙනසක් ගැන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අවස්ථා ලබලා දෙන්න තියෙනවා. මේ සාමකාමී අරගලකරුවන් පමණක් නෙවෙයි. ඉන් පිට මේ රටේ වෙනසක් වුවමනා කියන අයටත් අපි ඒ වගේම සහයෝගය ලබාදෙනවා. ඒක වුවමනායි. මේ රටේ තරුණයන් මේ රට භාර ගන්නවා නම් ඒ අයගේ අදහස් අනුව තමයි අපි රටේ පාලනයත් රටේ ආර්ථිකයත් සකස් කරන්න තිබෙන්නේ. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.

අපිට විධායක ජනාධිපති ක්‍රමය ගැන සාකච්ඡා කරන ගමන් මම හිතන්නේ මීට වඩා වැදගත් කාරණයකුත් තියෙනවා. ඒ තමයි අපේ දේශපාලන පක්ෂවල අනාගත ක්‍රියාමාර්ගය. අපි එක එක්නෙකාට විරුද්ධ වෙලා රට විනාශ කරනවාද නැත්නම් අපේ පක්ෂ සාමූහිකව රට වෙනුවෙන් වැඩ කටයුතු කරලා මේ රට ගොඩ ගන්නවාද කියන එක තමයි වැදගත්ම දේශපාලන ප්‍රශ්නය අද අපිට තියෙන්නේ.

නීතිය හා සාමය ආරක්ෂා කරලා අපි එකතු වෙලා රට ගොඩගන්න වුවමනායි. මේ රට ගොඩගන්න පුළුවන්. අවුරුදු ගණන් වුවමනා නැහැ. අපි මේ අවුරුද්දෙන් පස්සේ එන අවුරුද්දේ මීට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා. ඒ වගේම මම බලන්නේ ඊළඟ අවුරුදු දෙක තුළදී අපි සියලුදෙනාම එකතු වෙලා මේ රට ගොඩගන්න. ඒකයි මගේ අධිෂ්ඨානය. ඒකයි සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරන්නට මම කැපවෙලා ඉන්නේ. හැම කෙනාම එකතු කරගෙන අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩ අරගෙන ඉදිරියට යමු.

සඳුනි ගමාරච්චි