පාසල් ගෘහ විද්‍යාගාරයේ භාණ්ඩ සොරාගත් කුඩ්ඩා කොටුවෙයි

0
7

බියගම ප්‍රදේශයේ විදුහලක ගෘහ විද්‍යාගාරය බිඳ එහි භාණ්ඩ සොරකම් කළ එම විදුහලේම ආදි ශිෂ්‍යයකු බියගම පොලිසිය මඟින් පසුගිය සති අන්තයේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමඟම මොහු විසින් සොරකම් කරන ලද රයිස් කුකරයක්, අවන් එකක් හා ගෑස් සිලින්ඩරයක් ඇතුළු භාණ්ඩ කිහිපයක්ම සොයාගෙන ඇති අතර විදුහල වසා තිබූ රාත්‍රියක ගෘහ විද්‍යාගාරයේ ‍ෙදාර කඩා එයට ඇතුළු වී තිබෙන බවට පොලිසිය කියයි.

මොහු බියගම, කොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු වන අතර මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින බවද කියැවේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.

 බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ හා සැරයන් බෝමුල්ල (33161) යන නිලධාරීහු ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බියගම – කේ. දුමින්ද