පළමුව කළ යුත්තේ මේ මොහොත සන්සිඳුවා ගැනීමයි

0
306

මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ සමාජීය පීඩනය වැඩිවෙමින් ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීම දිනපතා වාර්තා වන විවිධ සිදුවීම්වලින් අපට දැකගත හැකිය. මේ අර්බුදය විසඳා ගන්නා තුරු සමාජය ප්‍රචණ්ඩත්වයට තල්ලු නොවී පවත්වා ගැනීම, රජය ඇතුළු සමස්ත සමාජයේම වගකීමකි. මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාව තුළ මානසික පීඩනය වර්ධනය වීමක් දකින්න පුළුවන් නේද?

විදේශ සංචිත හිඟවීම නිසා ඇති වූ මූල්‍ය අර්බුදය රටටත්, නිවෙසටත් අවසානයේ තම බත් පිඟානටත් දැනුණු එක සමාජයේ කායික හා මානසික පීඩනයක් ලෙස පුපුරා යන්න හේතු වුණා. අද සියලු දෙනාටම මූලික අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් දැඩි ලෙස වෙහෙස වෙන්න සිදු වෙලා තියෙනවා. තෙල් ටිකක් ගහගන්න, බේත් ටිකක් ගන්න, හාල් ටිකක් ගන්න වගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අධික ලෙස මහන්සි වෙන්න සිදු වීම නිසා අපේ ජීවිතවල අනෙක් සංවර්ධන කටයුතු පසෙකට යනවා.

මේ අධික වෙහෙස හා අපේක්ෂාභංගත්වය නිසා මිනිස්සු ප්‍රචණ්ඩ වීම දකින්න පුළුවන්. අපි දැක්කා මේ පීඩනය දරාගන්න බැරුව සමහර අය වැවට පැන්නා, දරුවන් ගඟට විසි කළා. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියේ කියනවා වගේ පහළම මට්ටමේ තියෙන කායික හෙවත් භෞතික අවශ්‍යතා සම්පූර්ණ නොවුණම එය පුපුරා යන්නේ ලොකු පීඩනයක් විදිහට. ජනතාව ප්‍රචණ්ඩත්වය කරා ඇදී යෑම වළක්වා ගැනීම තමයි මේ මොහොතේ තියෙන ලොකුම අභියෝගය.

මහජන ආරක්ෂාවට සිටින පොලිසියට මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට විශාල වගකීමක් තිබෙනවා. එහෙම නේද?

ජනතාව ප්‍රචණ්ඩකාරී වෙනකොට පොලිසියට හා හමුදාවට සිදු වෙනවා ඔවුන් මර්දනය කරන්න. අනිත් පැත්තෙන් ඔවුන් තමයි නීතිය කඩන්නේ, සාමකාමීව විරෝධතා දක්වන්න නොදෙන්නේ හා ප්‍රචණ්ඩත්වයට පොලඹවන්නේ කියලා ජනතාව කියනවා. ඒ නිසා ආරක්ෂක අංශවලට මේ වෙලාවේ විශාල අභියෝගයක් තිබෙනවා මානව හිමිකම් ආරක්ෂා කරගනිමින් සාමය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තහවුරු කරන්න.

ජනමාධ්‍යයට හා සමාජ මාධ්‍යයට මේ අභියෝගය හමුවේ ඇති කාර්යභාරය හා වගකීම කුමක්ද?

දැන් ජනතාව දේශීය මාධ්‍යයට වඩා ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාස කරන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා පහුගිය කාලේ වගේ ගැලරිය පිනවන මාධ්‍ය සන්දර්ශන පැවැත්වීමට දැන් කාලය නෙවෙයි. ඇත්ත වසන් කරමින් ඇතැම් වගකිව යුතු පාර්ශ්ව අසත්‍ය පැවැසීම නිසාත්, ඒවා මාධ්‍ය තුළ අතාර්කිකව පළ කිරීම නිසාත් සමහර මාධ්‍ය කෙරෙහි කිසිදු විශ්වාසයක් ජනතාව තුළ දැන් ඇත්තේ නැහැ. අඩුම තරමින් මාධ්‍ය ජනතාව ප්‍රචණ්ඩත්වයට පොලඹවන ආකාරයේ ප්‍රවෘත්ති, ඒවා ඉදිරිපත් කරන විලාසය, කිවයුත්ත හා නොකිවයුත්ත නිවැරැදිව තෝරා බේරා ගැනීම පිළිබඳ පරිචය තවම වෙනස් වෙලා නෑ. මේ නිසා ජනතාව ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය විවේචනය කරනවා. සමහර සමාජ මාධ්‍යයේ පිටු සහ කණ්ඩායම් පළකරන තොරතුරු ජනතාව අවුළුවනසුලුයි.

මේ ඇවිළීම ඇතැම් දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් වෙන්න පුළුවන්. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය ඉතාම බරපතළයි. ඒ නිසා සමාජ මාධ්‍ය නියාමනය කිරීමත් මේ වෙලාවේදී අවශ්‍යයි. ඒ වගේම මාධ්‍ය ඇත්ත වාර්තා කළ යුතුයි. හැබැයි ජනතාව නිමෙන විධියට. ඒකේ අදහස ජනතාව අරගල කරන්න ඕනෑ නෑ, පාරට බහින්න ඕනෑ නෑ කියන එක නෙවෙයි. නැත්නම් ගෙදරට වෙලා නිහඬව බලාගෙන ඉන්න කියන එක නෙවෙයි. අරගලය ප්‍රචණ්ඩත්වය කරා ඇදී නොයා යුතුයි කියන එකයි පදනම. නැත්නම් අපේක්ෂා කරන වෙනස අත්විඳින්න වෙන්නේ නෑ.

ජනතාව ප්‍රචණ්ඩත්වයට ඇදී යෑම වළක්වා ගැනීමට රජය ඇතුළු වගකිව යුතු පාර්ශ්ව කළයුත්තේ කුමක්ද?

‘මේ මොහොත’ නිවීමයි කළ යුතු පළමු කාර්යය.  ඕනෑම අර්බුදයකදී මේ මොහොත නිවාගත්තොත් විතරයි දිගුකාලීන සැලසුම් හා විසඳුම් වෙත යන්න පුළුවන් වෙන්නේ. නායකත්වය සපයන පිරිස පරමාදර්ශී නොවනතාක් ‘මේ මොහොත’ සංසිඳුවන්න අමාරුයි. ඒ වගේම ජනතාව මෙහෙයවන්න ආගමික නායකයන්ට විශාල වගකීමක් පැවරෙනවා. මොකද ඔවුන්ට ජනතාවට සමීප වෙන්න පහසුයි. පන්සලේ හාමුදුරුවන්ට, පල්ලියේ පූජකතුමාට ඇවිළෙන්න යන ගින්න නිවන්න පහසුයි.

ඒ විතරක් නෙවෙයි ගුරුවරුන් ද දරුවන්ට සමීප විය යුතු වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස අපි විද්‍යාර්ථින්ට සමීප වීම හරහා තාරුණ්‍යයට උපායශීලී මඟපෙන්වීමක් කරන්න පුළුවන්. දූෂිත පාලකයන් කරපු විනාශයට ඇයි අපි දුක් විඳින්නේ කියලා ජනතාව තුළ විශාල කේන්තියක් හා කලකිරීමක් තිබෙනවා. ඒකට වරදකරුවන් හොයලා දඬුවම් දෙන්නට කලින් මේ මොහොත නිවාගන්න ඕනේ. නැතිනම් මොකද වෙන්නේ කියන එක අපි තිස් අවුරුදු යුද්ධයක් හරහා අත් වින්දා. ප්‍රචණ්ඩත්වය මතුවන විට ආර්ථිකය ඇතුළු බොහෝ පැති තවත් බිඳ වැටෙනවා. වැඩි වැඩියෙන් වෘත්තිකයන් රට හැර යනවා.

එයින් ජාතික මානව සම්පත් සැපැයුමේ ලොකු හිඩසක් ඇති වෙනවා. මේ අනතුර ආර්ථික, දේශපාලන ආදී හැම පැත්තෙන්ම දකින්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් එහි උච්චතම අවස්ථාවේදී කාරණා දෙකකින් එකක් සිදු වෙන්න පුළුවන්. එක්කෝ හමුදාව හා පොලිසිය භාවිත කර අතිශයින් බිහිසුණු මර්දනයක් කරා යොමුවීම. නැතිනම් ඇතැම් රටවල සිදුවුණා වගේ පොලිසිය හා හමුදාව ජනතාවගේ පැත්තේ සිටගැනීම. දෙවැනි කාරණාව නොවෙයි කියලා අපිට හිතන්නත් අමාරුයි. අනිත් එක මේ අරගල කරන්නේ අන්තවාදීන් හෝ ත්‍රස්තවාදීන් නෙවෙයි. මේ රටේ පරමාධිපත්‍ය හිමි සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා ඉහත කාරණා දෙකටම නොගොස් ‘මේ මොහොත’ සංසිඳුවා ගැනීමයි පළමුව කළ යුත්තේ.

ආගමික නායකයන් සහ අනෙක් පාර්ශ්ව ‘මේ මොහොත’ නිවන්න කියලා කියන එකම ආණ්ඩුවට කඩේ යෑමක්ය කියන විරෝධය ඇති වෙන්න හේතුවක් නෙවෙයිද?

ඒක තර්කානුකූලව කියන්න ඕනේ. දැන් මම මේ කියන දේටත් ආණ්ඩුවට කඩේ යනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි අඩියක් පස්සට ගන්නේ අනාගතයේ අඩි දෙකක් ඉස්සරහට යෑමේ අරමුණින්. අද අපි පරිභෝජනය සීමා කරන්නේ, ගමන් බිමන් ආදිය සීමා කරන්නේ හෙට අඩි දෙකක් ඉස්සරහට යෑමේ සැලැස්මක් හදාගන්න. ඒවගේම තවත් අඩි දහයක් පස්සට යෑම නවත්වා ගන්න. මාසයක් වහපු පාසල් අවුරුද්දක් වහන එක නවත්වා ගන්න. මාසයක් පෝලිමේ හිටපු එක අවුරුද්දක් වෙන එක නවත්වා ගන්න. අන්න ඒ අවබෝධයත් එක්කයි ‘මේ මොහොත’ නිවන්න ඕනෑ. නැත්නම් නිකන්ම ඇවිත් මාධ්‍ය ඉස්සරහ ජනතාවට ඉවසන්න කියලා වැඩක් නෑ. එහෙම වුණොත් ඒ අය නැවත ජනතාවගේ කෝපයට ලක්වෙනවා.

මේ තියෙන බලාපොරොත්තු අහිමි වුණු අර්බුදකාරී හා ප්‍රචණ්ඩකාරී මානසිකත්වයෙන් මිදෙන්න පුද්ගලයකුට තනි තනිව ගත හැකි ක්‍රියාමාර්ග මොනවද?

පළමුවෙන්ම තමන් ඉන්න තැන අවබෝධ කරගැනීම වැදගත්. මොකද අපි හැමෝම එක එක තැන්වල දැන් හිර වෙලා ඉන්නේ. ඊළඟට තමන් ඉන්න තැනයි අනෙකා ඉන්න තැනයි සසඳන්න එපා. ඒ සැසඳීම තුළින් නැවතත් එන්නේ ලොකු පීඩනයක්. මම සහ අපේ ගෙදර අද අඩියක් පස්සට තියලා අනාගතයේ අඩි දෙකක් ඉස්සරහට තියලා යන තැන කොතැනද කියන එක දකින්න ඕනෑ. නිදසුනක් ලෙස විදේශීය අධ්‍යාපනයට යන්න ඉන්න ළමයකුට වත්මන් තත්ත්වය යටතේ එම ඉලක්කය අසීරු වෙනකොට බලන්න ඕනෑ දේශීය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තියෙන අවස්ථා. ඒකේ අදහස තම ඉලක්කය බිඳ වැටුණා කියන එක නෙවෙයි. මේ අවස්ථාවේ එය කල් දැම්මා කියන එක. නැතිනම් විකල්ප උපායමාර්ගයක් සකස් කර ගත්තා කියන එක.

මෙවැනි කාලවකවානුවක රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් තම සේවකයන්ගේ මානසිකත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?

ආයතන ප්‍රධානීන්ට තමන්ගේ බලය පෙන්වන්න හෝ ඇරියස් කවර් කරන්න මේක වෙලාවක් නෙවෙයි. පරක්කු වුණාම සේවකයන්ගේ පඩි කපපු, දවස් පහම වැඩට එන්න කියලා අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කරපු සමහර ආයතන ප්‍රධානීන් අපි දැක්කා ජනමාධ්‍ය තුළින්. සේවකයන් එන්නේ කොච්චර අමාරුවෙන්ද? යන්නේ කොච්චර අමාරුවෙන්ද? කියන අවබෝධයවත් තියෙන්න ඕනේ. පැවැත්ම තහවුරු කරගැනීමයි මේ මොහොතේ වැදගත්. එහෙම නැතිවුණොත් පසුගිය දවසක ජපානයේ සිදුවුණා වගේ රැකියා ආතතිය දරාගන්න බැරුව සේවකයන් ආයතනයට ගිනි තිබ්බා වැනි අවස්ථා දැකගන්න පුළුවන් වෙයි.

ආර්ථික අර්බුදය නිසා මානසික පීඩනය වැඩිවීමෙන් සමාජය අධික ලෙස ආත්මාර්ථකාමී වී ඇති අයුරු දකින්න පුළුවන් නේද?

ඔව්. පහුගිය දවස්වල අපිට මාධ්‍යයෙන් දකින්න ලැබුණා ගෙදර තියෙන බත් මුට්ටිය උස්සලා, පාරේ නවත්තලා තියෙන මෝටර් රථයෙන් තෙල් ටික ඇදලා, බස් එකේදී බත් මුල සොරාගෙන, කුස්සියේ තිබුණු වී ගෝනිය අරන් ගිහිල්ලා කියන විධියේ ප්‍රවෘත්ති. මූලික අවශ්‍යතා ඉටු නොවෙන විට ප්‍රචණ්ඩත්වය හොරකමත් එක්කයි ඉස්සරහට එන්නේ. මේ තත්ත්වය කලින් දැකලා ඒක වළක්වා ගැනීමයි කළ යුත්තේ. මේ වගේ වෙලාවක එක්කෙනෙක් තනියම ලොකු දෙයක් කරනවට වඩා හැමෝම එකතු වෙලා පොඩි දෙයක් හෝ කරන එක වැඩි ප්‍රතිඵලයක් ගෙන දෙන්න පුළුවන්. මේ මොහොතේ සොරකම නවත්වා ගන්න නම් තියෙන අය නැති අය කෙරෙහි පරිත්‍යාගශීලී වීම අවශ්‍යයි. අසරණයන් දැක ඉවත බලා සිටීම අපට හුරු පුරුදු මිනිස් දහම නෙවෙයි.

අධ්‍යාපනය, ආර්ථිකය ආදී ක්ෂේත්‍ර බිඳවැටෙන කොට මිනිසුන්ගේ බලාපොරොත්තුත් බිඳ වැටෙනවා. පුද්ගලයකු ලෙස මීට මුහුණ දෙන්නේ කෙසේද?

අපි රටක් විධියට බංකොලොත්. හැබැයි ආකල්ප හා සංකල්පවලින් බංකොලොත් වෙන්න එපා. අවුරුදු තිහක යුද්ධයක් රටේ තිබුණා. ඒ කාලේ අපි පාසල් ගියේ ආයිත් ගෙදර එන්න වෙයිද කියලා බයෙන්. මේ රටේ හැම පරම්පරාවකටම හීන බිඳ වැටුණු අතීතයක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි ගැටලුව දකින්න අවශ්‍යයි. ඊට විකල්ප සොයන්න අවශ්‍යයි. සිතිවිලිවලින් බංකොලොත් නොවුණු කෙනා විතරයි අලුත් අත්හදාබැලීම් කරන්නේ සහ විකල්ප නිර්මාණය කරන්නේ.

රජයක් ලෙස සමාජ දියුණුවට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැර මෙරට හැම රජයක්ම, නායකයෙක්ම නිෂ්පාදනයට වඩා පරිභෝජනයයි දිරිමත් කළේ. මේ දිනවල අපි ගෙවතු වගාව ප්‍රවර්ධනය කරනවා. ඒක හොඳයි. හැබැයි ගෙවතු වගාවම නෙවෙයි කෘෂිකර්මය කියන්නේ. ඒ වගේම දිගුකාලීන සැලසුම්වලදී පරිභෝජනය නොව නිෂ්පාදනය දිරිමත් කිරීමටයි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ. රුසියාව නැඟිට්ටේ මේ ක්‍රමවේදය එක්කයි. සරලව කිව්වොත් අත හොල්ලා කට සෙලවිය යුතුයි. අර්බුදවලට මුහුණදුන් හැම රටක්ම නිෂ්පාදනයයි දිරිමත් කළේ. නිෂ්පාදනයට දක්වන දායකත්වය අනුවයි පුරවැසියන්ගේ තත්ත්වය මනින්න ඕනෑ, පරිභෝජනයේ මාත්‍රාවෙන් නෙවෙයි.

එසේම ඕනෑම ව්‍යාපෘතියක් රටේ අභ්‍යන්තර ශක්‍යතා වර්ධනය කෙරෙන ඒවා බවට පත් කර ගන්න අවශ්‍යයි. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හදන්න විදේශ ණය ගත්තා කියලා අහලා තියෙනවද? නැහැ. රටක ව්‍යාපෘතියක් කරනකොට ඒ ව්‍යාපෘතිය තුළින්ම අමුද්‍රව්‍ය නිපදවනවා. තාක්ෂණයත්, වෘත්තිකයොත් එතුළින්ම හදනවා. නිදසුනක් ලෙස අදටත් රටට ඩොලර් ගේන ව්‍යාපෘතියක් වන සීගිරිය නිම වෙද්දි අපේම වෘත්තිකයන් මෙන්ම අපේම තාක්ෂණය බිහිවෙලා ඉවරයි.

මේ දිනවල විදේශගත වීම් දිරිමත් කෙරෙනවා. තියෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ගෙදර එක්කෙනෙක් දෙන්නෙක් විදේශගත වෙනවා. එයින් රටටත් ඩොලර් ටිකක් එනවා කියලා පාලකයෝ හිතනවා. එහෙත් එයින් ඇති වන ගෘහස්ථ හා සමාජීය තුවාල සනීප වෙන්න ඉතා දිගු කාලයක් ගත වෙන්න පුළුවන්. අද තියෙන පාස්පෝට් පෝලිම්වල දිග දැක්කම මේවා ගැන පුරෝකථනයේ අවශ්‍යතාව තදින් දැනෙනවා. විශේෂයෙන් දරුවන් සිටින මවුපියන් විදේශගත වීම පසුකාලීනව කුටුම්බ තුළ බරපතළ ගැටලු ඇති කරවන්නක් විය හැකියි. මේ හැම දෙයක්ම රජයට සලකා බලන්න බැහැ. ඒ නිසා රජයත්, පුරවැසියනුත් යන දෙපිරිසම මේ මොහොතේදී තම වගකීම දූරදර්ශීව, අවදියෙන් සම්පූර්ණ කිරීම ඉතා වැදගත්.

සංලාපය – අමානි ඉරේෂිකා රූපසිංහ රණවීර