දේපළ ආරවුලකට පැටලී මල්ලී අතින් අක්කා මරුට

0
12

කලක පටන් පැවැති බව කියන දේපළ ආරවුලක් හේතුවෙන් බහින්බස් වීමක් දුරදිග යෑමෙන් වැඩිමහල් සොයුරිය ඝාතනය කළ සොහොයුරා අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

මෙසේ සිය බාල සහෝදරයා අතින් ඝාතනය වී තිබුණේ ඉහළ එලතලව දීගල්ල ප්‍රදේශයේ පදිංචි ඉමිහාමි මුදියන්සේලාගේ නන්දාවතී නමැති එක්දරු මවකි.

නැන්දම්මා සහ ඇයගේ සොයුරා සමඟ පැරණි දේපළ ආරවුලක් සම්බන්ධව ගැටුමක් දුරදිග ගොස් ඇයගේ පපුව ප්‍රදේශයට පිහිපහර කිහිපයක් ඔහු විසින් එල්ල කරනු තමා දුටු බවට මරණකාරියගේ ලේලිය පොලිසියට සාක්ෂි ලබාදී තිබිණි.

ලේලියගේ එම ඇසින් දුටු සාක්ෂි පදනම් කර ගත් පොලිසිය එම මරණයට මරණකාරියගේ බාල සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර පරීක්ෂණ අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මරණකාරියගේ බාල සොයුරාද එම නිවෙස ආසන්නයේම පදිංචිව සිට ඇති අතර දේපළ ආරවුල් සම්බන්ධව නිරන්තරයෙන් පවුල් දෙක අතර ගැටුම් ඇතිවන බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

කුලියාපිටිය කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අභයවර්ධන සහ සහකාර පොලිස් අධිකාරි සමන් දිසානයක යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල සිල්වා, උප පොලිස් පරීක්ෂක සුදේෂ් අමරසේන, සරත්, පොලිස් සැරයන්වරුන් වූ සේනාරත්න (25231), ප්‍රේමරත්න (32201), සමීර (85219) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි පරීක්ෂණ මෙහෙයවති.

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර