දිවි දී ජයගත් අරගලය කිරි දී රැකබලාගමු

0
81

අනාගතය විසින් ඉතිහාසය කියවීමේදී වර්තමානයට කවර ආකාරයක වටිනාකමක් ලබාදේවිද යන්න පිළිබඳව නිශ්චිතව කිවනොහැකි වුවත් නිසැකවම ඔවුන්ට නිවහල්ව නැඟීසිටීමට අවශ්‍ය මඟපෙන්වීමක් වර්තමානය තුළින් ලබාදී තිබෙනවා. මෙම කාලවකවානුව තුළදී අර්බුදයන්ට ගොදුරු නොවුණ හෝ සමාජය තුළ සාකච්ඡාවට බඳුන් නොවුණ විෂය ක්ෂේත්‍රයක් නොමැති තරම්. ඊට සමගාමීව මේ මොහොත වන විට ජනාධිපති ධුරය සහ ජනාධිපති ධුරය හිස්වීම පිළිබඳව කතිකාව කරළියට පැමිණ තිබෙනවා. රටක ජනාධිපති ධුරය දැරීම කවුරුන් කෙසේ කීවත් පහසු කාර්යයක් නෙවෙයි. සමස්ත රටක ප්‍රශ්න සහ ගැටලු විසඳීම සඳහා නොයෙකුත් බලපෑම් දේශීය විදේශීය වශයෙන් ජනාධිපතිවරයාට පැමිණෙනවා. එම නිසා රටට කෙතරම් යහපතක් කිරීමේ චේතනාවෙන් පැමිණියත් බලපෑම් සඳහා මුහුණ දෙමින් අදාළ කර්තව්‍යයන් සිදු කිරීම සඳහා ආත්ම විශ්වාසයක් සහ ධෛර්යයක් ජනාධිපතිවරයකුට අවශ්‍යයි.

ශ්‍රී  ලංකාවේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4 (අ) සහ 4 (ආ) ව්‍යවස්ථා මඟින් ප්‍රජාතන්ත්‍රවාදී රටක පවතින බලවත්ම අවිය වන ජනතාවගේ නියෝජිතයන් සහ රාජ්‍ය නායකයා තෝරා පත් කරගැනීම සඳහා පවතින පරමාධිපත්‍යය බලය කිසිවකුට පැවැරීමට හෝ උදුරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත තුළ තිබෙන ප්‍රතිපාදන වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුවත් යමින් ශ්‍රී  ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නවා. ඒ අනුව ශ්‍රී  ලංකාවේ බහුතරයක් ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබූ 7 වැනි විධායක ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ඉල්ලා අස්වීමට සිදුවීමත් සමඟ ජනාධිපති ධුරය හිස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ රහසිගත ඡන්දයකින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමට සිදුවෙනවා. එම නිසා 2022.07.20 වැනි දින පාර්ලිමේතුව තුළ පවත්වන ඡන්දයක් මඟින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගනු ඇති.

ඒ අනුව ශ්‍රී  ලංකාවේ බහුතරයක් දෙනා එළැඹෙන 20 වැනි දින පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙන බව අතිශෝක්තියක් නෙවෙයි. දැඩි අර්බුදයන්ගෙන් බැට කා හෙම්බත්ව සිටින මෙරට පුරවැසියන් එයින් ගලවා ගැනීම සඳහා හෝ අර්බුද ගොහොරුවේ තව තවත් ගිල්වා දැමීමට පත්වන ජනාධිපතිවරයාට හැකියාවක් ලැබෙනවා. මේ වන විට ජනාධිපති ධුරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් ඉටු කරන රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන පිරිස අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තරග කරන බව දන්වා සිටියත් කවුරුන් විසින් එළැඹෙන 19 වැනි දින නාමයෝජනා භාර දෙනු ලබයිද යන්න පිළිබඳව තවම නිශ්චිත නැහැ. ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන අය වුවත් එදිනට නාමයෝජනා භාරදීමේ ඉඩකඩක් පවතිනවා. ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයන් අවම වශයෙන් හතරක් හෝ පහක් නාමයෝජනා භාර දෙනු ඇති බවට නිගමනය කළ හැකියි. තමන්ගේ නායකත්වය රටේ ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මෙම ලිපිය ලියන මොහොත වන විටත් විශාල ප්‍රචාරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා.

කෙසේ නමුත් එළැඹෙන 20 වැනි දින කවුරුන් ජනාධිපති වුවත් පවතින තත්ත්වය එක්වරම සුබවාදී වෙනසකට හැරවීමට සමත්වේ යැයි සිතීම තරමක් අසීරුයි. ඊට හේතුව වන්නේ ශ්‍රී  ලංකාව මූල්‍යමය අතින් දැඩි අස්ථාවරත්වයක් අත්කරගෙන සිටීමයි. නමුත් මේ වන විට ඉන්ධන නෞකා කිහිපයක් මෙරටට පැමිණීමට නියමිතව තිබීම නිසා නුදුරේදීම ඉන්ධන පෝලිම් සහ විදුලිය ඇනහිටීම් තරමක් දුරට හෝ සමනය වීම හේතුවෙන් ජනතාවට යම් සහනයක් ලැබීමට හැකි වුවහොත් පවතින ගැටලු පිළිබඳව ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම මඟින් දේශපාලන වාසියක් අත්කරගැනීමට බලයට පත්වන ආණ්ඩුව කටයුතු කරාවි. නමුත් එය අසීරු වන්නේ පවතින අර්බුදය හේතුවෙන් ආහාර හිඟ වීම, භාණ්ඩ හා සේවා මිල ගණන් අධික ලෙස ඉහළ යෑම ආදියත් සමඟින් ජනතාවට නැවතත් පීඩනයට පත්වීමයි. එම නිසා පත්වන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට තමාගේ ධුර කාලය එතරම් පහසු වන එකක් නැහැ.

එම අර්බුද සමඟ නැවතත් අස්ථාවර ආණ්ඩු නිර්මාණය වීමේ දැඩි ඉඩක් පවතිනවා. 1953 වර්ෂයේදී පැවැති ආණ්ඩු විරෝධී ජනතා නැඟිටීම් හා සමාන නැඟිටීම් නැවත නැවතත් සිදුවිය හැකි බවට උපකල්පනය කළ හැක්කේ ගාලුමුව‍ෙදාර රැස්ව සිටින ජනතාව ජනාධිපති ධුරයේ කාර්යයන් ඉටු කිරීම සඳහා පත්ව සිටින රනිල් වික්‍රමසිංහ ඉවත්වන ලෙස ආරම්භ කර ඇති විරෝධතාවන් නිසයි. එවකට පැවැති අර්බුදයන් හා සමානව වර්තමානය තුළත් අර්බුද නිර්මාණය වී තිබීම හේතුවෙන් ඉතිහාසය නැවත නැවතත් සිදුවනවාද යන්න පිළිබඳව විමසා බැලිය යුත්තක්. එම තත්ත්වයෙන් ගැලවීම සඳහා ඇති ප්‍රතිකර්මය ලෙස යෝජනා කිරීමට ඇත්තේ පාර්ලිමේන්තුව තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීම පමණයි. තමන්ගේ පක්ෂයට තනි බලයක් ඇතිව ආණ්ඩු කිරීම සෑම පක්ෂයකටම සහ පක්ෂ නායකයකුගේම අපේක්ෂාව වුවත් එම අපේක්ෂාව තරමක් අෑතින් තබා කටයුතු කිරීමට අදාළ පක්ෂ කැමැති වන්නේ නම් ඉතාමත් ඉක්මනින් රට නැවත ගොඩනැංවීමට හැකිවේවි.

නමුත් මේ මොහොත වන විට අනුප්‍රාප්තික ජනාධිපති පත්කර ගැනීම සඳහා පවත්නා දැඩි තරගකාරීත්වය තුළින් පෙනී යන්නේ ඔවුන්ට එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක්් සකස් කරගැනීමේ වුවමනාවක් නොමැති බවයි. ඇතැම් විටක අනුන්ගේ කුණු තමන්ගේ කරේ තබා ගන්නේ මොකටදැයි ඔවුන් සිතනවා විය හැකියි. නමුත් රට පිළිබඳව සැබෑ හැඟීමකින් කටයුතු කරන්නේ නම් සෑම පක්ෂයක්ම යම් එකඟතාවකට පැමිණීම මේ මොහොත තුළ අත්‍යවශ්‍ය කාරණයක්. එසේ නොවීමෙන් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට ශක්‍රයාගේ පුතා වයිමා ආවත් මේ රට අර්බුදයෙන් ගොඩදැමිය නොහැකි වේවි.

හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා හැරීමට කටයුතු කිරීමත් එය සාර්ථක කරමින් ඔහු විසින් ඉල්ලා අස්වීමත් නිසා බොහෝ දෙනා මේ වන විට ප්‍රහර්ෂයෙන් සිටින නිසා අර්බුදයන් පිළිබඳව තරමක් අමතකව ගොස් තිබිය හැකියි. එම නිසා නැවතත් රට පත්ව තිබෙන තත්ත්වයෙන් නඟාසිටුවීමට අවශ්‍ය සැලසුම් සහ යෝජනා සකස් කිරීමටත් පාර්ලිමේන්තුව තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස බලකිරීමත් සිදුකළ යුතුයි. එසේ නොමැති වුවහොත් එක් ජයග්‍රහණයකින් උමතුව ලබාගත යුතුම ජයග්‍රහණයක් දෑතේ ඇඟිලිකරු තුළින් ගිලිහී යන ආකාරය බලා සිටින්නට සිදුවන අවාසනාවන්ත ජාතියක් බවට පත්වීමට අපට සිදුවේවි.

චතුරංග හතුරුසිංහ