දියවැලකට හසුවුණු රුසියානුවන් දෙදෙනා බේරාගෙන

0
10

හික්කඩුව පනංගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගොස් සිටි රුසියානු ජාතිකයන් දෙදෙනකු පෙරේදා (17දා) රාත්‍රි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව බේරාගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.
බේරාගත් රුසියානු ජාතික විදේශිකයන් දෙදෙනා වයස අවුරුදු 27 හා 29 වියේ පසුවෙති. මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිට ඇති අතර හික්කඩුව පනංගොඩ මුහුදු තීරයට පැමිණ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී මීටර් 800ක් පමණ ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

හික්කඩුව පොලිසියට අනුයුක්තව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂක හේවගේ, පො.කො. චතුරංග (94884) යන නිලධාරීන් හා නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකකයේ නාවික නැවියන් වන එස්.එස්. කරුණානන්ද, ආර්.ආර්.එන්. රාජකරුණා යන නිලධාරීන් විසින් ජීවිතාරක්ෂක බෝට්ටුවක් ආරයෙන් මෙම විදේශිකයන් දෙදෙනා බේරාගෙන ඇත.

ගාල්ල _ කමල් විජේහේවා