දිඹුලාගල වීරාණ ගමේ අපූරු ඉස්කෝලයක්

0
33

ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් වසා තිබුණ ද වසා දැමුණු කාලයේ සිට පාසල් කිහිපයක දරුවන්ට 6 වසරේ සිට 11 වසර දක්වා අවශ්‍ය අධ්‍යාපන කටයුතු කරමින් එම දරුවන්ට ගුරුහරුකම් ලබාදෙන අපූරු විදුහලක් දිඹුලාගල වීරාණ ගම්මානයෙන් අපට හමුවිය.

දිඹුලාගල වීරාණ ශ්‍රී  කාශ්‍යපාරාම විහාරස්ථානයේ මෙම විද්‍යාලය පවත්වාගෙන යන අතර අරලගංවිල සීලවංශාලංකාර නාහිමියෝ ඊට අනුශාසනා කරති.

 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසුන් සියයකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර ඊට ගම්මානයේ ගුරුවරුන්ගේ දායකත්වය සහ සහයෝගය ලබාදෙන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගුරුවරු පස්දෙනෙක් සතියේ දින පහේම විහාරස්ථානයට පැමිණ දරුවන්ට ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙති.

සිංහල, බුද්ධාගම, ගණිතය, දෙමළ භාෂාව, ඉතිහාසය, සෞන්දර්ය විෂය, විද්‍යාව මෙන්ම අනෙකුත් විෂයන් ආවරණය කරන මෙම ගුරුවරුන් කරන කැප කැපකිරීම් වෙනුවෙන් ගම්මානයේ මවුපියන් ඔවුනට දහවල් තේ පැන් සංග්‍රහයක් කිරීමටද කටයුතු කර ඇත.

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ගම්මානයේ සිසුහු පාසල් කරා නොයන අතර විශාල පිරිසක් වීරාණ කාශ්‍යපාරාම පාසලට පැමිණ එම ගුරුවරුන් යටතේ අකුරු කරති.

පන්සලේ ඉස්කෝලේ සඳහා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, විලයාය මධ්‍ය මහ විද්‍යාලය, බෝගස්වැව මහා විද්‍යාලය කරා ගමන් කරන දරු දැරියන් විශාල පිරිසක් පැමිණ තම විෂයන්  හදාරමින් සිටින බව ශ්‍රී  කාශ්‍යපාරාමාධිපති අරලගංවිල සීලවංශාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

මෙම පන්සලේ ඉස්කෝලේ වෙත පැමිණෙන දරුවන් මේ වනවිට ආගමික කටයුතුවලටද යොමු වී ඇති අතර විහාරස්ථානයේ විවිධ වගාවන් කිරීමට අමතර විෂයක් ලෙස වෙන්කර ගනිමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමඟ විවිධ එළවළු, පලතුරු මෙන්ම වී වර්ග වගා කර තිබීමද විශේෂත්වයකි.

ප්‍රවාහන අපහසුකම්වලින් පිරි දිඹුලාගල වීරාණ වැනි  දුෂ්කර ගම්මානයක මෙවන් කටයුත්තක් කරන වීරාණ ශ්‍රී  කාශ්‍යපාරාමාධිපති අරලගංවිල සීලවංශාලංකාර නාහිමියෝ මෙලෙස සඳහන් කළහ.

“රටේ ඉන්ධන අර්බුදය සමඟ පාසල් පවත්වන එක නතර වුණා. මේ නිසා ප්‍රදේශයේ අධ්‍යාපන ලබන දූ දරුවන්ට තම අධ්‍යාපන කටයුතුවලට ලොකු බාධාවන් ආවා. සමහර සිසුන් ඔන්ලයින් මඟින් අධ්‍යාපන කටයුතු සිදු කළා. මේ පිළිබඳ මවුපියන් මට නිතර කිව්වේ ඔන්ලයින් හරහා නිසි අධ්‍යාපනයක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ළමයින් අයථා ක්‍රියාවලට මේ මඟින් යොමු වෙනවා කියලා ගොඩක් මවුපියෝ කිව්වා.

ඉතින් මම කල්පනා කරලා ගමේ ඉන්න පාසල් ගුරුවරුන්, දහම් පාසල් ගුරුවරුන් එකතු කරගෙන පන්සලේ ඉස්කෝලේ කියලා වැඩසටහනක් ආරම්භ කළා. ඒ සියලු දරුවන් සතියේ සෑම දිනපහේම විහාරස්ථානයට ගෙන්නලා ඔවුන්ට අධ්‍යාපන කටයුතු ලබාදුන්නා. එය ඉතාම සාර්ථකයි. අපේ පන්සලේ ඉස්කෝලේ සඳහා පාසල් තුනකින් ළමයි දැනට සියයකට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා විෂයන් අටක් විතර ඉගෙන ගන්නවා. ඔවුන් ආගමික කටයුතුවලට නැඹුරු වෙනවා වගේම පන්සල් ගෙවත්ත වගා කරමින් විවිධ පලතුරු, එළවළු, වී වර්ග වගා කිරීමටත් අමතර විෂයක් ලෙස යොදාගෙන තිබෙනවා.

මේ අර්බුදය තව ටික කාලයක් අපිට විඳවන්න වෙයි. ඒකට විකල්පයක් හැටියට හැම ගමකම සිටින දරුවන් විහාරස්ථානයට ගෙන්නලා ඒ ඒ ප්‍රදේශවල ගුරුවරුන් විහාරස්ථානයට ගෙන්වලා ඔවුන්ට නිසි  අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන්න කියලා මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

අපේ ගුරුවරුන් ලොකු කැමැත්තකින් මේ වැඩේට දායකත්වය ලබාදෙනවා. රටේ හැමෝම මේ අර්බුදකාරි අවස්ථාවේදී පන්සලේ ඉස්කෝලේ වැඩසටහන් සාර්ථක කරගන්න මැදිහත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා රටේ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවෙලා හැම ගමකම මේ අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කරනවා නම් ළමයින්ටත් රටේ අනාගතයටත් හොඳයි කියලා මම යෝජනා කරනවා” යැයි අරලගංවිල සීලවංශාලංකාර නාහිමියන් වහන්සේ පැවැසූහ.

මනම්පිටිය _ නිමල් ජයරත්න