දඩයම නවතන්න බලය නිසි ලෙස භාවිත කරන්න

0
9

අරගලකරුවන් දඩයම වහා නවතා රටේ නීතිය සහ ක්‍රමය ස්ථාපිත කිරීමට පමණක් තම බලය නිසියාකාරව භාවිත කරන මෙන් වැඩ බලන ජනාධිපතිවරයාගෙන් හා පොලිස්පතිවරයා ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සර්වපාක්ෂික අරගලකරුවෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

පොදුජන අරගලයේ සාමාජිකයන් ඉලක්ක කරගත් බියගුලු මඩ ප්‍රහාර, අනියම් බියවැද්දීම් හා අනීතික අත්අඩංගුවට ගැනීම් රැසක් නිහඬව ක්‍රියාත්මක වන බවද ඔවුහු ප්‍රකාශ කරති.

මහජන විරෝධය මැඬපැවැත්වීමට හදිසි නීතිය පැනවීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන ආරක්ෂාවේ වගන්තිවලට මුවාවී මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමටත් රාජපක්ෂ පන්නයේ බියගුලු හැසිරීම් සිදුවෙන බවද අරගලකරුවෝ පවසති.

ජනාධිපතිවරයා ලෙස පත්වීමට අපේක්ෂා කරන මන්ත්‍රිවරුන් ඡන්ද විමසීමට පෙර සීමිත කාලසීමාවක් පදනම් කරගත් රාජ්‍ය පාලනයේ අර්බුද විසඳීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවද ඔවුහු එහි සඳහන් කර ඇත.

හෙට (20දා) ජනාධිපතිවරයා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම තුළ පොදු සමාජ  වගකීම පිළිබඳව අවබෝධයෙන් මන්ත්‍රිවරු තම කතිරය සලකුණු කළ යුතු බවද අරගලකරුවෝ අවධාරණය කර තිබේ.

අරගලකරුවන් කොටස් වශයෙන් සාකච්ඡාවලට ගෙන්වා මහජන නැඟිටීම් සාම්ප්‍රදායික ලෙස කළමනාකරණය කිරීමට දේශපාලන පක්ෂ අසාර්ථක උත්සාහයක් දරන  බවද ඔවුහු චෝදනා කරති.  

අමිත් මධුරංග ගමගේ