තෙල් හිඟයෙන් පොහොර බෙදීමත් අස්වනු නෙළීමත් නැවතිලා

0
15

පොහොර බෙදා හැරීමට හා නැඟෙනහිර පළාතේ අස්වනු නෙළීමට, ඉන්ධන හිඟය බරපතළ අන්දමින් බලපා ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉන්ධන හිඟය හේතුවෙන් පොහොර ප්‍රවාහනය කරගත නොහැකි වීමෙන් ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රමාණවත් අන්දමින් පොහොර ලැබී නැතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය. මේ අතර නැඟෙනහිර පළාතේ ප්‍රදේශ ගණනාවක පැසුණු ගොයම දිරායමින් පවතිතැයිද යල කන්නයේ අස්වනු නෙළීමට ගොයම් කපන යන්ත්‍ර සඳහා ඉන්ධන ලැබී නැතැයිද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

යල කන්නයේ අස්වනු නෙළීමට හා පොහොර බෙදා හැරීමට ඩීසල් ලීටර් 2,02,75,000ක් අවශ්‍ය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය වෙත දන්වා තිබිණි.

එහෙත් මේ වන තුරු ප්‍රමාණවත් අන්දමින් ඉන්ධන ලැබී නැති බව කෘෂිකර්ම බලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා පොහොර ගබඩා කිහිපයක්ද නිරීක්ෂණය කොට ඇති අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අමතා ඉන්ධන බවුසර් දෙකක් ඉක්මනින් ඉල්ලා සිටින්නැයිද ඉන්ධන බවුසර් 5කට මුදල් ගෙවන්නැයිද පොහොර සමාගම්වලටද උපදෙස් දී තිබේ.

විනීතා එම්. ගමගේ