තෙල් දෙනතුරු පොළොන්නරු රෝහල අත්‍යවශ්‍ය සේවාවලට පමණයි

0
16

රාජකාරියට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන තෙක් තමන් අත්‍යවශ්‍ය සේවාවන්වල පමණක් නිරත වීමට තීරණය කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩල කියා සිටිති.

මේ හේතුවෙන් රෝහලේ බාහිර රෝගීන්ගේ ප්‍රතිකාර අංශය, සියලුම විශේෂඥ වෛද්‍ය සායන ආදිය පැවැත්වීම දැනට තාවකාලිකව අත්හිටුවා තිබේ.

පෙරේදා (16දා) සිට මෙම ක්‍රියාමාර්ගයට එළඹි බවත් මේ අනුව පෞද්ගලිකව රෝගීන්ට ප්‍රතිකාර කිරීමද (චැනල් සේවය) තාවකාලිකව නවතා දමා ඇති බවත් වෛද්‍යවරු පැවැසූහ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන බවට රජය මඟින් ප්‍රකාශ කර ඇතත් පොළොන්නරුව නගරයේ හෝ ඒ අවට ඉන්ධන පිරවුම්හල් වෙතින් එවැනි පහසුකමක් නොලැබෙන බව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෝ කියා සිටියහ. ඇතැම් සෞඛ්‍ය සේවකයන් ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් වෙත නිල ඇ¾දුමින් සැරසී ගිය අවස්ථාවලදී පවා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල සිටින මැරවරයන්ගේ තර්ජන ගර්ජනවලට මුහුණ පෑමට සිදුවී ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ.

මේ හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් ඉන්ධන ලබාගැනීම සඳහා එම ඉන්ධන පිරවුම්හල් වෙත යෑමට බියක් දක්වන බවත් අදාළ වගකිවයුතු අංශ සහ ආරක්‍ෂක අංශ මැදිහත් වී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සේවය සඳහා පැමිණීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සලසන තෙක් රෝහලේ අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ඉටුකිරීමට තීරණය කළ බවද කියා සිටිති.

අවශ්‍ය ඉන්ධන නිසි පරිදි නොලැබීමෙන් පොළොන්නරුව, අරලගංවිල, වැලිකන්ද,  මනම්පිටිය යන ප්‍රාදේශීය රෝහල් තුනේ හදිසි ප්‍රතිකාර හැර බාහිර රෝගී ප්‍රතිකාර කිරීම සහ නේවාසිකව ප්‍රතිකාර ලබාදීම සියල්ල ඉකුත්දා (17දා) දහවල් සිට නතර කර දැමීමට පියවර ගත් බව එම රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පැවැසීය.

මෙම තත්ත්වය සමඟ අදාළ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවකට ඉකුත්දා (17දා) ආපසු හැරී යෑමට සිදුවිය. මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ සේවාවද ඉන්ධන පහසුකම් නොමැතිවීමෙන් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව මනම්පිටිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දීපාල් අසංක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. මනම්පිටිය ප්‍රාදේශීය සේවකයන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන්ට රෝහල කරා පැමිණීමට ඉන්ධන නොමැති අතර ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා ඔවුන් මෙන්ම රෝගී ජනතාවද දැඩි අසීරුතාවට පත්ව සිටිති.

පොළොන්නරුව – අනුරාධ විශ්වනාත්, මනම්පිටිය – නිමල් ජයරත්න