ඥාති කවයේ සාහසිකකම් සිඳලූ කාලිඩ් හුසේනිගේ ආශීර්වාදය

0
62

ලෝකප්‍රකට සම්මානනීය නවකතාකරු කාලිඩ් හුසේනි පසුගිය දවසක ඔහුගේ විසි එක් හැවිරිදි පුත්‍රයා ඇවිත් සංක්‍රාන්තික සමාජභාවි කාන්තාවක් ලෙස සමාජයට පිවිසීම වෙනුවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තියෙනවා. “තාත්තා කෙනෙක් හැටියට මීට පෙර කවදාවත් මම ඇය ගැන මේ තරම් ආඩම්බර වෙලා නැහැ. ලස්සන දුවලා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්න එක මට දැන් ලොකු සතුටක්.

සේරටම වඩා හැරිස්ගේ නිර්භීතකම සහ තමන්ගේ අනන්‍යතාව ලෝකය එක්ක බෙදා ගැනීමට ඇති ධෛර්යය මගේ හිත ඇදගත්තා. එයා මට සහ අපේ පවුලටම එඩිතරකම සහ සත්‍යවාදීව ජීවත්වීම ගැන ඉගැන්නුවා. දුක් තැවුල් සහ සාංකාවෙන් පිරුණු මේ ගමන ඇයට වේදනාත්මක එකක් වූ බව මම දන්නවා. දිනක් පාසාම සංක්‍රාන්තික පුද්ගලයන් අත්දකින කුරිරුකම අෑ සන්සුන්ව ඉවසා දරාගන්නවා. නමුත් ඇය ශක්තිමත් ඇය නිර්භීතයි.”

කාලිඩ් අතින් මේ අකුරු ලියැවෙන්නේ අභිමානයේ සැමරුමෙන් හරියටම මාසයක් ගෙවී අවසන් වන තැන. ඔබේ උත්කර්ෂවත් සහ සැමරුම් හමාර නම් දැන් පුළුවන් පොළොවට බැහැලා කතා කරන්න.

සංක්‍රාන්ති ලිංගික භාවය එහෙමත් නැත්නම් උපතේදී ලැබෙන ලිංගික අනන්‍යතාවට වඩා වෙනස් වූ ලිංගික දිශානතියක් තෝරා ගැනීමට සිදුවීමකදී කිසිම මොහොතක එය පහසු කාරණයක් වෙන්නෙ නැහැ. එය ප්‍රථමයෙන් ස්වයං අභියෝගයක්. තමන්ව හඳුනාගැනීමට සහ යථාර්ථය පිළිගන්න ඔවුන්ට ඔවුන් සමගම ෆයිට් කරන්න සිද්ධ වෙනවා. එතැනින් එහාට බොහෝ විට ලොකුම අභියෝගය සහ ලොකුම ශාපය වෙන්නේ සමාජානුයෝජනයේදී ඔවුන්ට සිදුවෙන ප්‍රතික්ෂේප කිරීම් සහ වෙනස්කොට සැලකීම්. නමුත් එක්වරම එකමිටට අරගෙන සමාජ ශෝධනයක් කරලා සියල්ල හරිගස්සගන්න ඔබත් මමත් ගැටෙන සමාජය, මහාචාර්ය ඩම්බලොඩෝර්ගේ මාය ලෝකය නොවෙන නිසාවෙන් මේක පියවරෙන් පියවර ඉදිරියට යා යුතු ක්‍රියාවලියක්.

ඒ හැමදේටම බටහිර රටවලට, ආසියාතික රටවලට වඩා විවෘතව මේ ගැටලුව දිහා බලන්න පුළුවන් කියන කාලාන්තරයක් තිස්සේ අපි එල්බගෙන ඉන්න පටු සමාජ මතය ප්‍රතික්ෂේප කළ යුතුයි. එතැනින් අඩියක් හෝ ඉස්සරහට තියන්න පුළුවන් විවෘත සහ සහකම්පනයෙන් යුත් පරම්පරාවක් අපි බිහි කළ යුතුයි. නමුත් පාසල් විෂය නිර්දේශයේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරපු පාඩම් හෙමිට උඩින් පල්ලෙන් අතගාගෙන යන, පවුල ඇතුළෙන්වත් දරුවන්ට ඒ ගැන හරිහමන් වැටහීමක් නොලැබෙන තමන්ගෙ ගැටලු මවුපියො එක්ක කතා කරන්න දරුවො පැකිළෙන, එහෙම කතා කරන දරුවා පවා පවුලෙන් සාකච්ඡාවට අධෛර්යවත් වෙන තැනක පරම්පරා ගණනාවක් තිස්සේ පල් වෙවී  ඉඳලා ඊළඟ පරම්පරාවට හෝ එතැනින් එහා සාධනීය තැනකට ඇදගෙන යාමේ දුෂ්කරතාව, රටක් විදිහට, සමාජයක් අපි ඉදිරියේ තියෙනවා.

ලාංකේය සමාජය ඇතුළේ සංක්‍රාන්ති ලිංගිකයෙක්ට තමන්ගේ අනන්‍යතාව හොයාගෙන යන්න, ඇක්සෙප්ට් කරන්න සහ දැනුවත් වෙන්න තියෙන සමාජ දැනුම සහ සහයෝගය අතිශයින් අවමයි. විවෘතව ඒ ගැන කතා කළ හැකි පුද්ගලයන් සහ දැනුවත් බවක් ගත හැකි මූලාශ්‍ර අවමයි. ඔවුන් තමන්ගේ හඳුනාගැනීමේ සංක්‍රාන්ති කාල පරිච්ඡේදය තුළ වැඩියෙන්ම අසරණ වෙන්නෙ සහ ආතතියට ලක්වෙන්නේ එතැනදී.

ලෝකය ඉදිරියේ කොයි තරම් රැඩිකල්වාදී බවක් ආරෝපණය කරගන්න උත්සාහ කළත් අපි තවමත් සමාජයක් විදිහට සංස්කෘතිය, ආගම සහ පවුලේ නම්බුව වැනි දේවල්වල තදින්ම මුල් බැසගත් වහල් මානසිකත්වයකට ඇබ්බැහි වූ රටක් අපිට තියෙන්නේ තාර්කික චින්තනයක් නැතුව එන එන රැල්ලට ගහගෙන ගිහින් අන්තිමේ යන එන මං නැතුව අනාථ වෙන සමාජ ක්‍රමයක්. ඒ නිසා සංක්‍රාන්තික ලිංගික භාවය වගේ මාතෘකා ඉදිරියේ අර පොරොවගෙන ඉන්න රැඩිකල් සිංහ හම ගැලවිලා ගිහින් ඇතුළෙ ඉන්න නරියට හූ කියවෙන්නේ ඉබේමයි.

ට්‍රාන්ස්ජෙන්ඩවරු බහුතරයක් බොහෝ විට මුලින්ම ප්‍රතික්ෂේප වෙන්න පටන් ගන්නේ ඔවුන්ගේ පවුල තුළින්මයි. පවුලේ නම්බුව, සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද වගේ කාරණා ඉස්සරහදී තමන්ගේම ඥාතිත්ව කවය ඇතුළෙන් එළියට විසි වීම නිසා සහ සමාජය ඉදිරියේ තනි පුද්ගලයන් ලෙස හුදෙකලා වීම නිසාවෙන් සිදුවන සියදිවි නසාගැනීම් සහ මානසික රෝගීන් වීමේ අවදානම ඔවුන් සම්බන්ධයෙන් සුලබයි.

ලිංගික අනන්‍යතාව පමණක් පුද්ගලයෙක්ගේ වටිනාකම තීරණය කිරීමේ මිනුම් දඬුව ලෙස භාවිත කිරීම ලෙසකින් යුක්ති සහගත නැහැ. වෙළෙඳ භාණ්ඩ ලේබල් කරන ක්‍රමයට මිනිස් ජීවිතවලටත් ලේබල් ගහන අමානුෂික සහ ගතානුගතික සම්ප්‍රදාය කුමන පරම්පරාව තුළින් හෝ අතික්‍රමණය විය යුතුයි. මේ අන්තරාදායක වංගුව ගන්න තියෙන ප්‍රමාදය නිසාවෙන් මේ මොහොතේත් ලෝකයේ කොහේ හෝ තැනක සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් පවුලෙන් ප්‍රතික්ෂේප වෙනවා. පාසල හැර යනවා, සමාජය තුළ බුලි වෙනවා, මානසික ආතතියෙන් පීඩා විඳිනවා. කිසිදු වරදක් නොකර පවා ජීවිතයෙන් වන්දි ගෙවනවා.

එහෙම බලද්දී ඒ හැම අසාධාරණ සැලකීමකම වරදකාරී බව අපි හැම කෙනෙක්ගෙම දෑත්වල තැවරිලා තියෙනවා. කිසිත් නොදැක්කා වගේ නිහඬව සිටින පුද්ගලයගේ ඉඳන් බැල්මකින් හෝ ඔවුන්ව පීඩාවකට පත් කරන පුද්ගලයා දක්වාම මේ සිද්ධීන් දාමයේ වගඋත්තරකරුවෝ. එහෙමයි කියලා ඒ හැම මොහොතකම ඔබව අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරියෙක් ඔබ ඉදිරියේ ප්‍රාදුර්භූත නොවෙන්න පුළුවන්.

නමුත් ඔබට ඇරෙස්ට් වොරන්ට් එක ලැබෙන්නෙ ඔබේම හෘද සාක්ෂියෙන්. ඔබේ නිහඬව සිටීමෙන් නොසලකා හැරීමෙන් හෝ අමානුෂික ප්‍රතික්ෂේප කිරීමෙන් විනාශ වෙන්නේ ඔබ වගේම ජීවිතයක්. එතැනදී ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියාගේ සහ ඔබේ අතර වෙනසක් තියේවි යැයි හිතන්න හැකියාවක් ඔබට තියෙනවද? වටිනා ජීවිත සහ නොවටිනා ජීවිත විදිහට ලෝකය තුළ ජීවිත වර්ග දෙක තුනක් නැහැ. හැම ජීවිතයක්ම එක හා සමානවම ලෝකයට වටිනවා. ජෙනරේෂන් හතකට බැරි වුණ මේ වෙනස ඇල්ෆා ජෙනරේෂන් එකෙන් හෝ සිදුවේවි කියන බලාපොරොත්තුව අපිට තියෙන්නේ ඒ නිසයි.

ඔවුන්ට ඔවුන්වම ඇක්සෙප්ට් කිරීම සහ ඔබට ඔවුන්ව ඇක්සෙප්ට් කිරීම කියන තෝරා ගැනීම් දෙකම නිරායාසයෙන්ම දුෂ්කරයි. නමුත් එය කළ නොහැක්කක් නොවෙයි. අධ්‍යාපනය තුළින් සහ සමාජීය වශයෙන් අපිට මේ රළු පෘෂ්ඨය සුමට කර ගැනීමේ හැකියාව තිබෙනවා සහ අපි එය භාවිත කළ යුතුයි. සංක්‍රාන්ති ලිංගිකයන් ඔවුන්ගේ අභ්‍යන්තරයෙන් වගේම බාහිරවත් තමන්ගේ අනන්‍යතාව උදෙසා සමාජයට විශාල කැපකිරීමකින් මිල ගෙවනවා. ඒ කැපකිරීම, පිළිගැනීමේ ප්‍රමාදය තියෙන්නේ ඔබ අතේ. මනුෂ්‍යයෙක් ලෙස සමාජයේ ගෞරවනීයව ජීවත් වීමේ අයිතිය තරාදියක එක පසෙකටත් අනෙක් හැම ගතානුගතික, සාම්ප්‍රදායික මිනුම් දඬුවක්ම සහ ලේබලයක්ම එක පසෙකටත් දැම්මොත්, මතක තියාගන්න හැමවිටම මනුෂ්‍යත්වයේ කොටස විශාල ගුණත්වයකින් යුතුව බරින් වැඩි වෙනවා.

ප්‍රහර්ෂි පෙරේරා