ගාල්ලේ දුම්රිය-කාර් අනතුරින් ගැබිනි මවක් හා 07 හැවිරිදි දැරියක් මරුට

0
31

ගාල්ල, මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා දැල්වෙමින් තිබියදී මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේදී මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබිනි මවක් මියගොස් පස් දෙනකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

ඊයේ (18දා) පෙරවරු 10.20ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කේ.එල්.එස්. ෂාඩිලා හංසි නමැති ගැබිනි මවක් හා එල්. යූ දිසානායක (07) නමැති දැරියකි. ගැබිනි මව නො. 376 පුබුදු උයන, කිරිවන්තුඩුව, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෝටර් රථයේ පවුල් කිහිපයක ඥාතීන් 07 දෙනකු පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන් කරමින් සිටි මෝටර් රථය මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදී දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කොට තිබේ. ඒ සමඟ මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය මැද නතරවී දුම්රියේ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පිරිමි පුද්ගලයන් තිදෙනකු එක් කාන්තාවක් හා  කුඩා දරුවෙකි. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය දැරිය තුන ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.

මෙම පිරිස මාගාල්ලේ හෝටලයක පැවැති මංගල උත්සවයකට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

එම උත්සවය පැවැති හෝටලයට ආසන්න ස්ථානයකදී මෙම අනතුර වී ඇත.

“කෝච්චිය එනවිට කාර් එක එක පාරටම දැම්මා. එතකොටම කාර් එක කෝච්චියේ වැදිලා විසි වුණා. මම බලනවිට කාර් එක ඇතුළේ කවුරුවත් සිටියේ නැහැ. ඔක්කොම එළියට විසිවෙලා. පස්සේ එතැනට ආපු ලොරියකින් තුවාලකරුවන් රෝහලට යැව්වා.” මෝටර් රථය දුම්රියේ වැදී අනතුර දුටු තරුන් ඕෂධ නමැති පාසල් සිසුවා එසේ කියා සිටියේය.

අනතුරෙන් පසු එම ස්ථානයට පැමිණි දුම්රිය රියැදුරු ප්‍රදීප් නානායක්කාර මෙසේ පැවැසුවේය.

“මෙම ස්ථානයට ආසන්න වනවිට දුම්රියේ නළාව නාද කරනවා. එසේ නාද කරමින් එනවිට එක්වරම කාර් එකක් රේල් පාර හරහා දැම්මා. මට කිසිවක් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. කාර් එකේ හිටපු අය එළියට විසිවෙනවා මම දැක්කා”

ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවීම මත අනතුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්, අහංගම – එස්. දීයගහගේ, ගාල්ල – කමල් විජේහේවා