කෙණෙරක් විල්පත්තු ජාතික උද්‍යානයට මුදා හැරීම කිසිසේත් අනුමත කරන්න බැහැ

0
48

අලි ඇතුන්ගේ සමාජීය හැසිරීම් රටා ගැන කිසිදු තැකීමක් නොකොට අල්ලා විල්පත්තු ජාතික උද්‍යානයට මුදා හැර ඇතැයි ජෛවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් ‘මව්බිම’ට පැවැසීය.

එම සතුන්ගේ සමාජීය හැසිරීම් රටා තඹ සතයකට හෝ මායිම් නොකර අත්තනෝමතික, අසාරධාරණ හා අවිද්‍යාත්මක ආකාරයෙන් එය කිරීමට පෙරමුණ ගෙන ඇත්තේ මෙරට වනජීවී සංරක්ෂණයේ මූලික වගකීම පැවරුණු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යැයි හෙතෙම චෝදනා කළේය.

තමා දන්නා ආකාරයෙන් ගැහැනු සතකු පරිස්ථාපනය කළ ප්‍රථම අවස්ථාව මෙය බව කී හෙතෙම එම සත්ත්වයා ඇයගේ රංචුවට යොමු කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කළ බවද කීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලස්වැව ප්‍රදේශයේ වළක වැටී සිටි කෙණෙරක අල්ලා විල්පත්තු ජාතික උද්‍යානයට පරිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙරට ඉතිහාසයේ කිසිම අවස්ථාවක අලි-මිනිස් ගැටුම්වලට ගැහැනු සතුන් දායක වන බවට වාර්තා වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය.

අලි- මිනිස් ගැටුම්වලට මැදිහත් වන්නේ වැඩිවියට පත් වූ සමහර පිරිමි අලින් පමණක් බවද හෙතෙම පැවැසීය.

මෙරට අලි – මිනිස් ගැටුම් කළමනාකරණ උපාය මාර්ග ක්‍රියාත්මක වන්නේද පිරිමි අලි කේන්ද්‍ර කරගනිමින් බවත් මිනිසුන්ගේ ජීවිත හා දේපොළවලට හානි කරන බවට චෝදනා ලබන තනි අලින් පරිස්ථාපනය කිරීම සහ හොරොව්පතාන වැනි එළිමහන් අලි සිරකඳවුරු වෙත ගෙන ගොස් දැමීම එයට නිදසුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් එවැනි තනි අලි පවා පරිස්ථාපනය කිරීම හෝ එළිමහන් අලි සිරකඳවුරු වෙත ගෙන ගොස් දැමීම පවා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය හෝ වන අලි සංරක්ෂණය අතින් ප්‍රතිපලදායක නොවන බව මේ වනවිට විද්‍යාත්මකව ඔප්පුවී ඇති බවද සුපුන් ළහිරු ප්‍රකාශ් අවධාරණය කළේය.

එසේ තිබියදී අලි-මිනිස් ගැටුම් ඇතිකරන බව පවසමින් එල්ල වූ හුදු ජනතා විරෝධය පාලනය කිරීම සඳහා ගැහැනු සතකු මෙසේ අල්ලා පරිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ඔහු පැවැසීය.

වනජීවී සංරක්ෂණය හා වනජීවී-මිනිස් ගැටුම් කළමනාකරණය යනු විද්‍යාත්මක විෂය පථයක් බව හෙතෙම කීය.

අලි ගැහැනු සතුන් තමන්ගේ මුළු ජීවිත කාලයම ගතකරන්නේ තමන් ඉපදී හැදී වැඩුණු රංචුව සමඟ නිසා එම රංචුවෙන් ඉවත්වී තනිව ගැහැනු සතුන් කිසිම අවස්ථාවක කාලය ගත නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

එවැනි පසුබිමක මෙසේ වන අලි ගැහැනු සතකු තමන්ගේ රංචුවෙන් ඉවත්කර නොදන්නා ප්‍රදේශයක අතරමං කිරීමට විද්‍යාව මත පදනම්ව කටයුතු කළයුතු දෙපාර්තමේන්තුවක් ක්‍රියාකිරීම ඉතා බරපතළ වැරදි පූර්වාදර්ශයක් යැයි ඔහු පැවැසීය.

සවනි ශේශාධි