කැපුම් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගිහින්

0
11

කටුනායක, හීනටියන, මහගම ප්‍රදේශයේදී  තියුණු ආයුධයකින් කැපීමෙන් බරපතළ කැපුම් තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ඊයේ (18දා) අලුයම  මියගොස් ඇත.

මියගිය අය නිවෙස ආසන්නයේ තුවාල සහිතව වැටී සිටියදී පෙරේදා (17දා) රාත්‍රියේදී එම ගම්වාසීන් විසින් මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබූ බවත් ඔහු හීනටියන මහගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි මනික්කුගේ අමිල සඳුන් කුමාර ජයසිරි නමැති අය බවත් පොලිසිය පවසයි.

එසේම පෙරේදා (17දා) රාත්‍රි ඔහුට අයත්  ත්‍රීවීල් රථයට ඩීසල් ලබාගැනීම සඳහා ද නිවෙසින් පිටව ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ අනාවරණය කර තිබේ. පුද්ගලයකුව කඩුවකින් කපා බරපතළ තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණකරු අධිකරණයෙන් ඇප ලබා සිටින අයකු බවද ප්‍රකාශ කරන පොලිසිය දෙපාර්ශ්වයක් අතර කාලයක පටන් පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි සැක පහළ කරයි. ඝාතනය කෙරුණු පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

මිනුවන්ගොඩ  – ටෝනි කේ. අතුකෝරල