අවාරයේ සිරිපාදයට පැමිණි නෙදර්ලන්ත යුවළගේ ත්‍රිරෝද රථයට හැටන් පොලිසියෙන් ඉන්ධන

0
69

අවාරයේ ශ්‍රී පාද සංචාරය සඳහා පැමිණි නෙදර්ලන්ත ජාතික යුවළක් ගමන් ගත් ත්‍රිරෝද රථයකට හැටන් අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් පෙට්රල් ඉන්ධන නිකුත් කිරීමට හැටන් පොලිසියේ නිලධාරීන් ඊයේ (18දා) පියවර ගත්තේය.

අන්තර්ජාලය ඔස්සේ හැටන් ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙන් කරවාගෙන දුම්රියෙන් පැමිණි නෙදර්ලන්ත ජාතික යුවළ ත්‍රිරෝද රථයකින් 17 දින නල්ලතන්නිය වෙත ගොස් ශ්‍රී පාදය සංචාරය කර ඊයේ (18දා) මහනුවර දක්වා එම ත්‍රිරෝද රථයෙන්ම ගමන් කරන අවස්ථාවේ ත්‍රිරෝද රථයට පෙට්රල් ඉන්ධන අවශ්‍ය බව ත්‍රිරෝද රථ රියැදුරා විසින් ඉන්ධන පිරවුම්හල අසල රාජකාරියේ නිරතව සිටි හැටන් පොලිසියේ නිලධාරීන්ට දැනුම්දීමෙන් පසු පෝලිමෙන් පරිබාහිරව එම නෙදර්ලන්ත ජාතික යුවළ ගමන් ගත් ත්‍රිරෝද රථයට පෙට්රල් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගැනිණි.

මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ නෙදර්ලන්ත ජාතිකයා කියා සිටියේ ශ්‍රී  ලංකා සංචාරයක් සඳහා පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවත් ශ්‍රී  ලංකාව සංචාරය කිරීමට හොඳ රටක් බවත්ය.

ශ්‍රී  ලංකාව තුළ යහපත් පුරවැසියන් සිටින බවත් ඔවුන් තුළ ආගන්තුක සත්කාර සහ ළෙන්ගතුකම තිබෙන බව එම සංචාරක යුවළ කීහ.  

නෝර්වුඩ් _ නීටා පත්ම කුමාරි