අද රටම විරෝධයේ

0
18

රට තුළ නිර්මාණය වී ඇති අස්ථාවරත්වයට විසඳුම් ඉල්ලා දීපව්‍යාප්තව අද (19දා) සිදුකරන ජාතික විරෝධතා වැඩසටහන සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.

අධ්‍යාපන, කළමනාකරණ, තැපැල්, විදුලි සංදේශ, සෞඛ්‍ය, බැංකු ඇතුළු ක්‍ෂේත්‍රද ගණනාවක සේවකයන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ප්‍රධාන උද්ඝෝෂණය සිදුකරන බවත් ඊට සමගාමීව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල උද්ඝෝෂණ සිදුකරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට  ඉවත් වන ලෙසත්, මහජන කවුන්සිලයක් ගොඩනඟන ලෙසත්, අන්තර්වාර පාලනය ජන අරගලයේ අභිලාෂ සමඟ සම්මුතිගත කරන ලෙසත් බලකරමින් පැවැත්වෙන මෙම විරෝධතා වැඩසටහනට වැඩවර්ජන හා හර්තාල් ක්‍රියාමාර්ගද ඇතුළත් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සියලුම ආයතනවල කළු කොඩි දමා විරෝධය පළ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, නිවාසවල කළු කොඩි දමා මෙම විරෝධයට සහාය පළකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීය.

හදිසි නීතිය පනවා ආරක්ෂක හමුදාවට විශේෂ බලතල ලබාදී ජනතාව මර්දනය කිරීමේ වැඩපිළිවෙළක රනිල් වික්‍රමසිංහ මහතා යෙදී සිටින බවත්, මෙම තත්ත්වය පරාජය කිරීමට ජනතා විරෝධතා වැදගත්වන බවත් ස්ටාලින් මහතා පැවැසීය.

සමාජ මාධ්‍ය පිළිබඳව සොයා බැලීමට ආරක්ෂක අංශයන්ට පවරා භාෂණයේ හා අදහස් පළකිරීමේ අයිතියට බලපෑම් එල්ල කර තිබෙන බවත්, ඊට එරෙහිවීමට රට වැසියන්ට අයිතිය තිබෙන බවත් හෙතෙම කීය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා මෙසේද කීය.

“මේ වනවිට ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පසුගිය දින සීයේ අරගලයේදී එපා කියූ 225ට තමයි ලංකාවේ සියලු තීරණ ගැනීමේ බලය පවරා දී තියෙන්නේ. ඒක ඉතා අභියෝගාත්මක තත්ත්වයක්. 2020 අගෝස්තු මැතිවරණයෙන් බලයට පැමිණි පාර්ලිමේන්තු කණ්ඩායමට තිබූ බලය නෙමෙයි දැන් තියෙන්නේ. සැබෑ ජනමතයක් දැන් පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ නෑ. එහෙත් පාර්ලිමේන්තුවට පිටත ජනමතය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පසුගිය දින 100ට වැඩි කාලයක් මේ රටේ දේශපාලනය සම්පූර්ණයෙන්ම තීරණය කළේ මහජනතාව. මහජන අරගල මඟින් ජනතාවගේ බලය පෙන්වා තිබෙනවා. මැයි 09 මහජන  බලය හමුවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට යන්න වුණා. ජුනි 09 වෙද්දි බැසිල් රාජපක්ෂට යන්න වුණා.

ජූලි 09 ගෝඨාභය රාජපක්ෂට රටින්ම යන්න වුණා. මහජන බලය තමයි මේ සියලු දේවල් තීරණය කළේ. අද වෙද්දී ව්‍යවස්ථානු කූල රාමුවක් හරහා ජනතාව ප්‍රතික්ෂේප කළ 225ට බලය පැවරිලා තියෙනවා. එළියේ විරෝධය ඇතුළට ගෙන යන්නේ කොහොමද කියන අභියෝගය අපි ඉදිරියේ තියෙනවා. රනිල් වික්‍රමසිංහට රටම භාර දෙන්න පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සූදානම් වෙනවා. අපිට ඉතා පැහැදිලියි හොරකම් හෙලිදරව්වීම වැළැක්වීම සඳහායි මේ දේ සිදුවන්නේ. ඒ නිසා මෙම ක්‍රියාවලිය අපි පරාජය කළ යුතුයි. ඒ සඳහා විරෝධතාවයන් පළකිරීම අවශ්‍යයි. ජනතාව උපරිම බලපෑම් සිදුකළ යුතුයි.”

මේ අතර වෘත්තීය සමිති සිදුකරන ජාතික විරෝධතාවයට තම සංගමයේ සහාය ලබාදෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කළේය.

ඒ අනුව රෝහල් සේවකයන් අද උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා සේවයෙන් බැහැරවීමටත්, ආසන්න නගරවලට පාගමනින් ගොස් උද්ඝෝෂණ සිදුකිරීමටත් තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවැසූහ.

මේ සම්බන්ධව ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දීන් සිදුකළ බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

රෝහල් පද්ධතියේ නිර්මාණය වී ඇති ඔෟෂධ හිඟය ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙන ලෙසත්, රෝහල් සේවකයන්ගේ ප්‍රවාහන ගැටලු විසඳන ලෙසත් ඉල්ලා සිටින බවද එහිමියෝ සඳහන් කළහ.

අමිත් මධුරංග ගමගේ