අගමැති කාර්යාලයේ ලිපිගොනු නැති වීමේ චෝදනාව කුමන්ත්‍රණයක් විය හැකියි

0
15

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර පැවැති සාකච්ජාවලට අදාළ ලිපි ගොනු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අරගලකරුවන් අතට පත්වීමෙන් පසු නැතිවී යැයි කරන චෝදනාව කුමන්ත්‍රණයක් විය හැකි බව වෙනසක තාරුණ්‍යයේ සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර ‘මව්බිම’ ට පැවැසීය.

රජයට අයත් මේ ගොඩනැඟිලි අත්පත් කර ගත්තේ ආණ්ඩුවට එරෙහි විරෝධය සංකේතාත්මකව ප්‍රකාශ කිරීමට විනා එහි දේපළවලට හානි කිරීමට නොවන බවද ඔහු අවධාරණය කළේය.

අරගලයේ උච්චතම අවස්ථාවේදී ජනතාව එක්ව ජනපති මන්දිරය, ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, සහ අගමැති ලේකම් කාර්යාලය අත්පත් කර ගත්තේ එහි ගොඩනැඟිලිවලට, උපකරණවලට හෝ එහි ඇති ලිපිගොනුවලට හානි කිරීමේ අරමුණින් නොවන බවද හෙතෙම කීය.

එහි මෙම ලිපිගොනු ඇතැයි අනුමාන කොට ඉලක්ක කර කිසිදු දේපළක් අත්පත් කර නොගත් බව ඔහු පැවැසීය.

ඒ නිසා එහි ඇති ලිපිගොනු අතුරුදන් වී ඇතැයි කරන චෝදනාවල වගකීම අරගලකරුවන් ලෙස තමන්ට බාර ගත නොහැකි යැයි ළහිරු වීරසේකර කීය.

අරගලකරුවන් එම ගොඩනැඟිලි අත්පත් කරගත් අවස්ථාවේ එහි තිබූ ලිපිගොනුවලට හෝ උපකරණවලට හානි කිරීමට උත්සාහ නොකළ බවද ඒවාට අවම හානියක් හෝ සිදුවීම වැළැක්වීමට වෑයම් කළ බවද හෙතෙම අවධාරණය කළේය.

ඉන් පසු එම ගොඩනැඟිලි නැරඹීමට පැමිණි ජනතාව වුවද එහි තිබූ කිසිදු දේපළකට හානි කිරීමට හෝ ඒවා විනාශ කිරීමට උත්සාහයක් හෝ නොදැරූ බව ඔහු පැවැසීය.

එහි තිබූ ලිපිගොනු අතුරුදන් වූ බවට හා එහි තිබූ උපකරණවලට හානි කළ බවට නඟන චෝදනාවල වගකීම තමන් කිසිදු අයුරකින් බාර නොගන්නා බවත් එය ආණ්ඩුවේම පිරිස් සිදු කොට එය අරගලකරුවන් පිට පැටවීමේ කුමන්ත්‍රණයක් විය හැකි බවත් ළහිරු වීරසේකර තවදුරටත් පැවැසීය.

සවනි ශේශාධි