මංගල උත්සවයට ගිය ගමන අවමංගල්‍යයකින් කෙළවර වූ ගාල්ලේ ශෝකාන්තය (VIDEO)

0
946

මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ ශීඝ්‍රගාමි දුම්රිය ගාල්ල වරාය පොලිස් වසමේ, මාගාල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද (ජූලි 18) දහවල් මෝටර් රථයක ගැටී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, එක ම පවුලේ ඥාතීන් හය දෙනෙකු මංගල උත්සවයකට සභාගි වීමට යමින් සිටියදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බව ය.

අනතුරින් එහි ගමන්ගත් දස හැවිරිදි ගැහැණු දරුවෙකු සහ ගැබිනි කාන්තාවක මිය ගොස් ඇති අතර අනෙක් සිව් දෙනා බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව වරාය‍ පොලිසිය සඳහන් කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගාල්ල – ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

මාගාල්ලේ හෝටලයක පැවති මංගල උත්සවයට මෙම පිරිස මෝටර් රථයකින් පැමිණ ඇති අතර හෝටලය ආසන්නයේදී ම දුම්රියේ ගැටී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

ඔහු සඳහන් කළේ, එම ස්ථානයේ දුම්රිය ගේට්ටුවක් නොමැති බව ත් ආලෝක සංඥා පද්ධතියක් පමණක් ඇති බව ත් ය.

මෝටර් රථයේ රියැදුරු වර්ණ සංඥා දැල්වෙමින් තිබියදී අනාරක්ෂිත ලෙස මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවපොලිසිය සඳහන් කර ඇත.

ගාල්ල වරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.