MOH කොට්ඨාස 65ක් ඩෙංගු අධි අවදානමේ

0
21

පසුගිය සතිය වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 65ක් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස නම්කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

රාගම, මතුගම, අකුරණ, ගම්පොළ, කුණ්ඩසාලේ, උකුවෙල, හබරාදුව, යක්කලමුල්ල, වලස්මුල්ල, පැල්මඬුල්ල සහ වැලිමඩ ඇතුළු ප්‍රදේශ රැසක් මෙසේ අධි අවදානම් කලාප ලෙස නම්කර තිබේ.

එමෙන්ම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 39,029ක් වාර්තාවී ඇති අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රෝගීන් 10,050ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව එම නිවේදනයෙහි දක්වා ඇත.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,425ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 3,795ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2,376ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 2,732ක්ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 1,866ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 1,834ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1,487ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 1,476ක් ඇතුලු අනෙකුත් දිස්ත්‍රික්කවලින්ද මේ හා සමාන රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.

සඳුනි ගමාරච්චි