වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

0
355

ජූලි 21 වන දා සිට යළි පෙට්‍රල් ලබා දිය හැකි බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූලි 18) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ වන වීට ඩීසල් සහ ගෑස් අඛණ්ඩව ලබා දීමට හැකියාව ලැබී ඇති බව ඔහු එහිදී පැවසීය.

වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, ආහාර සපයාගත නොහැකි අඩු අදායම් ලාභී පවුල්වලට ආහාර ලබා දීමට කටයුතු කරන බව ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කළේ ය.

“තව එක ප්‍රශ්නයක් තමයි, අපි හැම එක්කෙනාට ම තියෙන පාස්කු ඉරිදා බෝම්බය පිළිබඳව. ඒ වැඩකටයුතු එකකවත් අවසන් නොවීම ගැන. මම හිතන්නේ මගේ කැපවීම නම් ඇත්ත වශයෙන් ම මේ ප්‍රශ්නය විසඳලා දාන්න. හැමදාම අපි මේ ප්‍රශ්නය ඇදගෙන යන්න වුවමනා නැහැ.”

වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවලට අමතරව තව ත් වාර්තා ඇති බව ත් ඒ පිළිබඳව යළි සමාලෝචනයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව ත් ය.

ඒ පිළිබඳව අපක්ෂපාතී පූර්ණ සමාලෝචනයක් සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේ ය.

එමෙන් ම, එම කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අමතරව එක්සත් රාජධානියේ පොලිසියේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද වැඩබලන ජනාධිපතිවරයා පැවසීය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.