හෙල්මට් නැතිව යතුරුපැදියේ ගිය තිදෙනා පොලිස් නිලධාරියාටත් බිම පෙරළාගෙන ගහලා

0
18

ඉන්ධන පිරවුම්හලක් අසල රථවාහන හැසිරීවීමේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ නිල ඇඳුමෙන් ඇද බිම පෙරළාගෙන පහරදුන් පුද්ගලයන් තිදෙනකු සේරුනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීමේදී තුවාල ලත් පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත.

පොලිස් මූලස්ථානය පවසන අන්දමට ඉකුත් 15 වැනිදා රාත්‍රියේ සේරුනුවර නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසල පොලිස් නිලධාරීන් දෙදෙනකු රථවාහන හැසිරවීමේ රාජකාරියක නිරතව සිටියදී ආරක්ෂක හිස්වැසුම් නොමැතිව එම ස්ථානයට යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇත. ඔවුන් පරීක්ෂා කළ නිලධාරීන් දෙදෙනාට තරයේ අවවාද කර පිටත් කර යැවීමෙන් අනතුරුව තවත් පුද්ගලයන් තිදෙනකුද ආරක්ෂක හිස්වැසුම් නැතිව යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ තිබේ.

රථවාහන හැසිරවීමේ නිලධාරීන් එම යතුරුපැදියද නැවැත්වීම සඳහා සංඥා කළද එහි ගමන්ගත් පුද්ගලයන් නිලධාරීන්ට බැන වදිමින් නොනවත්වා ධාවනය කළ අවස්ථාවේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පෙරළී ඇත. එහිදී එම ස්ථානයට ගිය පොලිස් නිලධාරියකුගේ නිල ඇඳුමෙන් ඇද බිමට පෙරළාගෙන පහරදීමක් කර තිබේ. එම සිද්ධිය දුටු ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂක රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන් පහරදුන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

පසුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සිද්ධියෙන් සුළු මොහොතකට පසු අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත. පසුව පහරකෑමට ලක්වූ කොස්තාපල්වරයාත් අත්අඩංගුවට ගන්නා ලද යතුරුපැදියෙන් වැටී සුළු තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනාත් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

තුවාල ලැබූ සැකකරුවන් තිදෙනා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මූතුර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කීර්ති මෙන්ඩිස්