හමුදා නිලධාරියාගේ මව ඝාතනය කර මෝටර් රිය පැහැරගත් දෙදෙනෙක් අත්අඩංගුවට

0
16

යුද හමුදා උසස් නිලධාරියකුගේ මව ඝාතනය කොට පසුගිය 15 වැනිදා නිවෙසේ නවතා තිබූ මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු මෝටර් රථයද සමඟ සැකපිට 17දා අලුයම අත්අඩංගුවට ගත් බව මකුලුගස්වැව පොලිසිය කීය.

ඝාතනයේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි දඹුල්ල සහකාර පොලිස් අධිකාරි චන්දන විජේසේකර මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගලේවෙල දමුණුමුල්ල පදිංචි වයස අවුරුදු 30ට අඩු අය බවත් එක් අයකු යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ අයකු බවත් හඳුනාගෙන ඇතැයි මකුලුගස්වැව පොලිසිය කීය.

හැත්තෑ හැවිරිදි  මව ඝාතනය කොට මෝටර් රථය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් 15 වැනි දින පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර වයර් කැබැල්ලක් උපයෝගී කරගෙන ගෙල සිරකොට ඝාතනය කොට ඇත්තේ ගලේවෙල අලුත්වැව බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි අයි. එල්. පියසීලි නමැති හැත්තෑ හැවිරිදි තිදරු මවකි. ඝාතනයට ලක්ව ඇති මවගේ දියණියක විසින් ගලේවෙල මකුලුගස්වැව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ස්ථාන පරීක්‍ෂාව සිදු කිරීමෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

ඒ අනුව දැනට සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ යුද හමුදාවේ සේවය කරන පුතුගේ මෝටර් රථය නිවෙස ඉදිරිපිට නවතා තිබූ බවත් එම මෝටර් රථය පැහැරගෙන කනේ තිබූ තෝඩු දෙක මෙන්ම දුරකථනයද සොරාගෙන ගොස් ඒවා උකස් කොට ඇති බවයි.

එසේම පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීම සඳහා පැය ගණනාවක් පෝලිමේ තබාගෙන සිටි බවත් පසුව ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ මෝටර් රථය ගලේවෙල දමුණුමුල්ල ප්‍රදේශයේ ස්ථානයක දමා ගොස් තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කීය.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරි චන්දන විජේසේකර මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

දඹුල්ල – කේ. කේ. ආරියදාස