සාමය පවත්වාගන්න පොලිසියට හමුදාවට සහාය දෙන්න – ශවේන්ද්‍ර සිල්වා

0
6

රට තුළ සාමය පවත්වා ගෙන යෑම සඳහා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති එක්ව පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේ බව අවධාරණය කළේය.

රජයේ සහ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙසද එහිදී හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ත්‍රිවිධ  හමුදාව සහ පොලිසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ බවත් විශේෂයෙන්  කථානායකවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සිදු වන බවට සැල කළ බවත්  ඔහු කියා සිටියේය.

තවද  ජනාධිපතිවරයාගේ අස්වීමත් සමඟ ඉදිරියේදී ජනාධිපතිවරයා පත්වනතුරු කාලසීමාව තුළ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් කථානායකවරයා සමඟ  සාකච්ඡා කළ බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පැවැසීය.

පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා දේශපාලන වශයෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට දැනුම් දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.

චාමර අමරසූරිය