සාමකාමී සමෘද්ධිමත් රටක් ගොඩනැඟීම අපේක්ෂාවයි

0
210

දේශපාලන පාට කණ්ණාඩිවලින් තොරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාවට අනුව දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරයට තරග වැදීමට තීරණය කළ බව ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්්පෙරුම අවධාරණය කර ඇත. නීතියේ ආධිපත්‍යය හා ජාතීන් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා රට ගෙන යෑමට සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී ලංකාවක් ගොඩනැඟීම තම අපේක්ෂාව බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කර ගත  යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.

ශ්‍රී  ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන, ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගත කරමින් සිටී. ආර්ථික අර්බුදයක් ඔස්සේ පැනනැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන්ම මේ වන විට ජනතා අපේක්ෂාවන්ගේ දිශානතිය වෙනස් වී ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තවදුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමිනි. කුඩා පාසල් දරුවාගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානුකූල දේශපාලන රාමුවක් තුළය.

දශක තුනක නොකිළිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ සහාය ලබාගත යුතුය. මා ඔවුන් සියලු දෙනාගේම සහාය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයකු බව සහතික කර කිව හැකිය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය