විපක්‍ෂයේ පොදු එකඟතාවක් නැති නිසා අපි අනුරව ඉදිරිපත් කරනවා

0
88

යහපත් රටක් පැතූ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට නායක අනුර දිසානායක  ඉදිරිපත් කරන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

පොදු එකඟතාවක, පොදු වැඩපිළිවෙළක ක්‍රියාකාරිත්වය වෙනුවෙන්  පක්ෂයට සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද  මන්ත්‍රිවරයා  කීය.

ඉකුත්දා ජවිපෙ මූලස්ථානයේ පැවැති  මාධ්‍ය හමුවේදී  ඔහු මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රි  විජිත හේරත්

“ඒකාධිපති වියරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාවගේ පොදු අරගලයෙන් බලයෙන් පහකළා. එය ඉල්ලා අස්වීමක් නොවේ. පොදු ජන අරගලයකින් බලයෙන් පහ කිරීමක්. රටේ ජනතාව බලාපොරොත්තු වුණු පළමුවැනි ජයග්‍රහණය සම්පූර්ණ කර තිබෙනවා. දැන් නව ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් පත්කර ගන්න වගකීම පාර්ලිමේන්තුවට පැවැරී තිබෙනවා. ජාතික ජන බලවේගය පසුගිය දින කිහිපය පුරාම පොදු එකඟතාවකට එන්න විශාල උත්සාහයක් දැරුවා. රටේ ජනතාව, සිවිල් සංවිධාන, අරගලයට මැදිහත් වුණු කණ්ඩායම් ඇතුළු සියලුදෙනා අන්තර්කාලීන පොදු එකඟතා ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියා.

අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරන්න අන්තර්කාලීන ආණ්ඩුවකට යන ලෙස පොදු ඉල්ලීමක් තිබුණා. ඒ අර්ථයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී වත්මන් කථානායකවරයා ඊළඟ කාල පරිච්ඡේදය සඳහා සියලු දෙනාගේ එකඟත්වයෙන් පත්කරන්න අපි යෝජනා කළා. සියලු දෙනාගේ එකඟත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් ඉන් අනතුරුව පිහිටුවන්න සහ අගමැතිවරයා සියලු පක්ෂවල එකඟතාවයෙන් පත්කර ගන්න අපි යෝජනා කළා.

ඉන් අනතුරුව ජනවරමක් පවත්වා එයින් නව ස්ථාවර දේශපාලන ව්‍යුහයක් ඇති කරගන්න අවස්ථාව ලබාදිය යුතු බව අපි යෝජනා කළා. සිවිල් සංවිධාන, විවිධ බහුජන සංවිධාන සහ සක්‍රීයව අරගලයේ නියුතුව සිටි පාර්ශ්වවලත් යෝජනාවල හරය වී තිබුණේ සියලු දෙනාගේ එකඟතාවයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න. ඒ අන්තර්කාලීන ආණ්ඩුව පොදු එකඟතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. අපි ඒ සඳහා සද්භාවයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පාර්ශ්ව එක්ක පසුගිය දිනවල සාකච්ඡා කළා. නමුත් ඒ යෝජනාවට අනෙක් පක්ෂවල පොදු එකඟතාවක් පළවී නැහැ. සිකුරාදා සවස් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා තමන්ද ජනපති තරගයට එන බවත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කර තිබෙනවා. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ප්‍රායෝගිකව සිදු නොවන බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ තරගය නිසා එකඟතාවක් ඇති වන්නේ නැහැ. නමුත් අපේ උත්සාහය සම්පූර්ණයෙන්ම අත්හැර නැහැ.

එකඟතාවකට එන්න බැරි නම් මේ රටේ සුවහසක් ජනතාවගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒ වුවමනාව ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළේ සහ එළියේත් විවිධ ජාතිකත්වයන්ට අයත් විවිධ දේශපාලන මත දරන පුද්ගලයන්, රටින් බැහැරව ඉන්න ශ්‍රී ලාංකිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද රට පත්වී තිබෙන අර්බුදයෙන් පියමං කළ හැකි පැහැදිලි ස්ථාවර දේශපාලන ප්‍රතිපත්තියක් ඉල්ලා සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින, ඔවුන් යෝජනා කරන ස්ථාවරත්වයට අදාළ නායකත්වය පිළිබඳ අභියෝගය භාරගෙන එම ක්‍රියාවලිය ඉටුකරන්න සූදානම් කියන පණිවුඩය අපි ලබාදෙනවා.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. රට වැටී තිබෙන දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩගන්නා නායකත්වය භාරගෙන එම වගකීම් ඉටුකරන ලෙස ජනතාව ඉල්ලා සිටින අභියෝගය භාරගන්න ජාතික ජන බලවේගයේ නායකත්වය සූදානම්. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුළේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා. අපි නායකත්වය භාරගන්නා මොහොතේ සිට සියලු දෙනාගේ එකඟත්වයෙන් පත්කර ගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් හරහා පොදු යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගන්න අපි සූදානම්.

පොදු එකඟතාවක, පොදු වැඩපිළිවෙළක ක්‍රියාකාරිත්වය වෙනුවෙන් අපිට සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ රටේ අර්බුදය ගොඩගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාට සහයෝගය ලබාදෙන්නේ නම් ඒ අනෙකුත් දේශපාලන පක්ෂ එක්ක පොදු එකඟතා වැඩපිළවෙළක් මත සහයෝගයෙන් රට ගොඩගන්න අපි සූදානම්. ඒ සඳහා පොදු එකඟතාවකට එන්න තවදුරටත් කාලය තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයකින් සමන්විතව අනුර දිසානායක සහෝදරයා යටතේ රට ගොඩනඟන්න සූදානම්. මේ පණිවුඩය අපි සියලුම දෙනා වෙත ලබාදෙනවා. 

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- මන්ත්‍රිවරුන්ගේ සහාය ගන්න ඔබලා කොන්දේසි පනවා තිබෙනවාද?

පිළිතුරු:- අපේ කිසිදු කොන්දේසියක් නැහැ. අනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වගකීම ගන්න අපිට සහයෝගය දෙන්න කියලයි. රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න කැමැති නම්, එකඟ නම්, ඊට නායකත්වය දෙන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් අපේ කිසිදු කොන්දේසියක් නැහැ. ඔවුන් එකඟ නම් අනෙකුත් අයත් එක්ක සාමූහික තීන්දු තීරණ ගන්න කැබිනට් මණ්ඩලයක් සහ ව්‍යුහයක් නිර්මාණය කරන්න අපි සූදානම්. පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, අරගලකරුවන් සහ විවිධ කණ්ඩායම් යන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන රට ගොඩනැඟීමේ වගකීම භාරගන්න අපි සූදානම්.

ප්‍රශ්නය:- පසුගිය කාලයේ අනෙකුත් පක්ෂ සමඟ කටයුතු කිරීමේදී කොන්දේසි තිබෙන බව ප්‍රකාශ කර තිබුණා. දැන් එය වෙනස් වෙලාද?

පිළිතුරු:- නැහැ. මේ තියෙන්නේ පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට තෝරා ගැනීමේ කටයුත්තක්. එම ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ අදහස් හා යෝජනා ලබාගත යුතු වෙනවා. ජාතික ජන බලවේගයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාවක් නොවෙයි මේක. එවැනි තත්ත්වයකදී විවිධ අයගේ අදහස් හා යෝජනා ලබාගැනීම වගේම ඒ අයගේ සහභාගිත්වයෙන් රට ගොඩනැඟීමේ සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් වෙනවා.

අනුරාධා හේරත්