වරාය සේවකයෝ අනතුරු අඟවති

0
116

ශ්‍රී ලංකා වරාය අධිකාරියට සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය වහාම වෙනස් කළ යුතු බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.

වරාය තුළ ක්‍රියාත්මක බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලු ගණනාවක් පවතින බවද එම ගැටලු වහාම නිවැරදි කිරීමට වරාය පාලනාධිකාරිය පියවර ගත යුතු බවද එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර සිටී.

වරාය අධිකාරියට අවශ්‍ය තනතුරු ගණනාවක් අහෝසි කර ඇති බවද මේ නිසා කිසිදු දීමනාවක් නොලබා පහළ තනතුරුවල සේවකයන් වසර දහයත්, පහළොවත් අතර කාලයක් කිසිදු දීමනාවක් නොලබා ඉහළ තනතුරුවල වැඩ ආවරණය කරමින් සිටින බවද මෙය වරාය සේවකයන්ට කරන බලවත් අසාධාරණයක් බවද වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කළේය.

ඇතැම් තනතුරුවල සේවකයන් විශ්‍රාම ගිය පසුවත් එම තනතුරුවලට කිසිවකු පත්කර නැති අතර, එම තනතුරු සඳහා පුහුණු කිරීමේ නිසි ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක නැතැයිද, බොහෝ විට සිදුව ඇත්තේ දේශපාලන වුවමනාවන් සඳහා තනතුරු ලබාදීමට කටයුතු කිරීම බවද එම වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර ඇත.

බොරු පොරොන්දු ලබාදී මෑන්පවර් පදනමින් වරායට සේවකයන් බඳවාගෙන ඇතත් ඔවුන්ට ලබාදීමට එකඟ වූ වැටුප් ලබානොදී එම වැටුප් මංකොල්ල කෑමට බලධාරීන් ක්‍රියා කර ඇතැයිද වරායට මෑන්පවර් සේවකයන් බඳවා ගැනීම පිටුපස දේශපාලන සබඳතා ඇති බවට බොහෝ තොරතුරු තම සන්ධානය සතුව ඇති බවද වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය චෝදනා කළේය.

ඒ අනුව වරාය වෛද්‍ය මධ්‍යස්ථානයට අනුමත සේවක සංඛ්‍යාවෙන් පිට සේවකයන් 17  දෙනකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති බවද මෙම  අසාධාරණ මෑන්පවර් කටයුතු වරාය තුළ සිදු කිරීමට වරාය සේවකයකු ඔහුගේ රාජකාරියෙන් ඉවත් කර එම කටයුත්ත සඳහා යොදවා ඇතැයිද වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කළේය.

මෙම කරුණු ඇතුළු වරායේ දූෂණ අක්‍රමිකතා ගණනාවක් හෙළි කිරීම සඳහා පාර්ලිමේන්තු කෝප් කමිටුවට තම වෘත්තීය සමිති සන්ධානය කැඳවන ලෙස ඉල්ලා සිටියද මේ වනතුරු ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයිද, මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් බලධාරීන් වහාම සොයා බලා ඒ පිළිබඳ නිසි පියවරයන් ගත යුතු බවද එසේ නොමැති වුවහොත් වරාය තුළද ජනතා අරගලයක් අරඹා මෙම අසාධාරණ ක්‍රියා මැඬපැවැත්වීමට ඉදිරියේදී කටයුතු කරන බවද වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය නිවේදනය කර ඇත.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය