රාජපක්ෂලාගේ ගැටවලට අහුවෙලා රූකඩ ආණ්ඩුවක් හදන්න ඉඩදෙන්න එපා

0
44

ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී නොවන පාලකයෝ පත්වුණාම ඒ ජනතා විරෝධය හමුවේ ඔවුන්ට පසුබහින්න සිදුවෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්  පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.

වැඩිදුරටත් හෙතෙම මෙසේද කීය.

ජූලි මාසයේ 09 වැනිදා විධායක ජනාධිපති වෙලා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයව මේ රටේ ජනතාව බලයෙන් පහ කළා. එතුමාට ඉල්ලා අස්වෙලා යන්න සිදු වුණා. හේතුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විධායක ජනාධිපතිවරයා හැටියට පත්වෙලා තියෙන බලය මදි කියලා 20 වැනි සංශෝධනය ගෙනැල්ලා තවත් බලය වැඩි කරගත්තා. එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අසීමිත බලයක් තිබුණා. එවැනි බලතල විශාල ප්‍රමාණයක් තිබිලත් එතුමාගේ පාලන කාලයේ සිදුවෙච්ච දැවැන්ත ප්‍රශ්න, ගැටලු ඇති වීම නිසා ආර්ථික අර්බුදයක් කරා එය යනකොට මේ රට දැවැන්ත අගාධයකට පත් කිරීම උඩ මේ රටේ ඉන්න සියලුම ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කළා. එහිදී එතුමා තනතුරෙන් යා යුතුයි කියන පණිවුඩය මාස කිහිපයක් තිස්සේ නොනිමි අරගලය අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට දාලා පැනලා යන්න සිදුවුණා.

ජනාධිපතිවරයාට තනතුර දාලා පැනලා යන්න සිදුවීම තුළ ලෝකයේ අරගල ඉතිහාසයට අපේ රටේ ඉන්න ජනතාවත් එකතු වුණා.

අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ලබා දුන් පණිවුඩය ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විතරක් නෙමෙයි එය සමස්ත වශයෙන් පොදුජන පෙරමුණ ආණ්ඩුවටම ලබාදුන් පණිවුඩයක්. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යන්න කිව්වා. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ නායකයෙක් ගියාම සියලුදෙනාම යන්න ඕන.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා තමන්ගේ බලය තහවුරු කර ගන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් ඒක ජනතාවගේ නැඟිටීම වැරදි ලෙස විග්‍රහ කිරීමක් කියලා අපි හිතනවා.

අද වන විට පාර්ලිමේන්තු ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න දැනට අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ අපිට පේනවා මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඕන කියන දැනුම්දීම කථානායකතුමා ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශය උඩ සජිත් ප්‍රේමදාස මහතා අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු 225න්ම අපි ඉල්ලා සිටින්නේ ඔබතුමාලා ජූලි නව වැනිදා ලබා දුන් පණිවුඩය සැහැල්ලුවට ගන්න එපා. එහි තිබෙන පණිවුඩය තේරුම් ගන්න. ඒ හරහා ජනතාව එළියට දාපු ඔවුන්ගේ අභිලාෂයන්, බලාපොරොත්තු තේරුම් ගන්න. මොකද නැවත රාජපක්ෂලා පාර්ලිමේන්තුව තුළත් එළියෙත් හොල්මන් කරනවා. ඒ තුළින් රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් හසුරුවන උත්සාහ කරනවා. එහිදී නැවත තමන්ට ඕන කෙනෙක් ජනාධිපති තනතුරට පත් කර ගෙන ඒ අවසන් වෙච්ච රාජපක්ෂ පාලනය ඉදිරියට ගෙන යන්න යම් කණ්ඩායමක් බලාපොරොත්තු වෙනවා. අපි පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා නැවත රාජපක්ෂලාගේ ගැටවලට අහුවෙන්න එපා. දැන්වත් මේ රට හරි දිසාවකට තල්ලු කරගන්න ඕන. නැවතත් හරි මඟට තල්ලු කරගන්න ඕන. ඒ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා.

අපි ඉදිරිපත් කරන අපේක්ෂකයාට ඔබතුමන්ලා සහයෝගය දෙන්න. ඒ තුළින් සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීමේ වැඩපිළිවෙළට යන්න පුළුවන් ආරම්භයක් හැටියට ඔවුන්ට මැදිහත් වෙන්න කියලා අපි කියනවා. එහෙම නැතිව රාජපක්ෂ පාලනයේ රූකඩයක් නැවත පත් කරගන්න නම් දායකවෙන්න එපා කියලා පොදුජන පෙරමුණේ ඉන්න ජනතාවාදී මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.

අපි දැක්කා අරලියගහ මන්දිරය ඉදිරිපිට එදා ඇති වෙච්ච සිද්ධියත් එක්ක පොහොය දවසේ එතැන හිටපු අනිල් සෝමවීර කියන බි්‍රගේඩියර්වරයාව තනතුරෙන් ඉවත් කරලා තියෙනවා. ඊයේ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පණිවුඩයක් ලබා දුන්නා ඔහු අයින් කළේ නෑ. ස්ථාන මාරු කළා කියලා මම කියන්න කැමැතියි, මා සතුව ලිපිය තිබෙනවා. එහි තිබෙන්නේ ඔහුව අණදෙන නිලධාරී හැටියට ඔහු ඉවත් කරලා කියලා. ඒක ඇත්තටම අනිල් සෝමවීර කියන නිලධාරියට අනාගතයේදී ඔහුගේ උසස් වීම්වලට පවා බලපානවා.

උද්ඝෝෂකයන් එක්ක ගැටෙන්නෙ නැතිව ඔහු සාමකාමීව ප්‍රශ්න විසඳගන්න ඉදිරිපත් වුණා. ඇත්තටම අපි සියලුදෙනාම පොලිස් නිලධාරීන්ගෙන්, හමුදා නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන දේ ඒක අපි කාටවත් හමුදා නිලධාරීන් කියන්නේ මේ රටේ ඉන්න සහෝදරවරු උද්ඝෝෂකයෝ කියන්නේ ඔවුන්ගේත් සහෝදරයෝ අපි ඔක්කොම රටේ පුරවැසියෝ.

නිර්මාණි ගුණරත්න