බෙරගල යුද හමුදා පුහුණු කඳවුරේ සෙබළාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

0
9

කෑගල්ල බෙරගල යුද හමුදා පුහුණු කඳවුරේදී හදිසියේ මියගොස් සිටි සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (16දා) පැවැත්වීමෙන් පසුව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ බව කෑගල්ල පොලිසිය කියයි.  මියගොස් තිබුණේ පොළොන්නරුව දළුකාන කුඩා වැව අංක 171 ලිපිනයේ පදිංචිව සිටි කෑගල්ල බෙරගල යුද හමුදා පුහුණු කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සැරයන් (368145) වෙදමුහම්දිරම්ලාගේ ඉන්ද්‍ර චමින්ද තිස්ස නමැති 39 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුට වයස අවුරුදු 9ක හා 5ක පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින බවත් මීට මාස 7කට පමණ ඉහතදී රත්නපුර ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරමින් සිටියදී කෑගල්ල පුහුණු කඳවුරට මාරුව ලබා පැමිණ ඇති බවත් කළ මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය.

ඉකුත්දා නිවාඩු ලබා පොළොන්නරුව කුඩා වැව නිවෙසට ගොස් බිරිය, දරුවන් බලා ආපසු ජූලි 07 වැනිදා බෙරගල කඳවුරට පැමිණ සේවයට වාර්තා කර තිබිණි. බෙරගල පුහුණු කඳවුරේ නවක උසස් වීම් ලද නිලධාරීන් 14 වැනිදා රාත්‍රි සාදයක් පවත්වා ඇති බවත් සාදය අවසන් කර චමින්ද තිස්ස සෙබළාද අලුයම 1ට පමණ සිය භට නිවාසයට ගොස් නින්දට වැටී තිබුණු බවත් පොලිසිය පැවැසීය. 15 වැනිදා පෙරවරුවේ තම සහෝදර සෙබළා අවදි වීම ප්‍රමාද මන්දැයි පවසා දෙපස ඇඳන්වල සිටි සෙබළුන් දෙදෙනෙක්  පරීක්ෂා කර ඇතැයි ඒ අවස්ථාවේද කතා බහක් නොමැතිව සිටි සෙබළා වහාම යුද හමුදා වාහනයකින් පෙරවරු 7.45ට පමණ කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කර තිබිණි. බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරයා සෙබළා පරීක්ෂා කර බලා මියගොස් ඇති බව සෙසු හමුදා නිලධාරීන්ට දන්වා තිබිණි.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති

උප පොලිස් පරීක්ෂක ටී.ආර්.පී. තෙන්නකෝන් මහතා කෑගල්ල මූලස්ථාන පොලිසියට වාර්තා කර ඇත. එම වාර්තාව අනුව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ. දිසානායක මහතා පෙරේදා 16 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණ. කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් නිශාන්ත අභයරත්න මහත්මිය බෙරගල යුද හමුදා පුහුණු කඳවුරටත් දේහය තැන්පත් කර තිබුණු කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයටත් ගොස් මූලික විමර්ශන කටයුතු කළාය. අනතුරුව වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තා අධිකරණයටත් දේහය බිරියට භාර දෙන ලෙසත් පොලිසියට නියෝග කළාය.

කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී නායකරත්න බණ්ඩාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (16දා) කළේය. එහිදී  විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව බිරියට හා පොලිසියට වෛද්‍යවරයා දැන්වීය.  සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක, උප පොලිස් පරීක්ෂක නිශ්ශංක ආරච්චි, පොලිස් සැරයන් ‍ෙදාරේ රාජ් (27299) වැඩිදුරටත් විමර්ශන කටයුතු  කෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ මියගිය සෙබළා දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු බවත් තව වසර දෙකකින් විශ්‍රාම ලබා ගැනීමට සිට ඇති බවත්ය.

දමුණුපොළ – චමින්ද ජයලත්