පොලිසියට හමුදාවට එරෙහිව වෘත්තීය සමිති මානව හිමිකම් යයි

0
54

පසුගිය දිනවල පැවැති උද්ඝෝෂණවලදී හමුදාව හා පොලිසිය නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම්, පහරදීම් හා මරා දැමීම් කර තිබේදැයි සොයාබලන ලෙස ඉල්ලා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසත්, ඉන්ධන, ආහාර, ගෑස් ඇතුළු අවශ්‍යතා සැපයීමට ඉදිරිපත් වන ලෙසත් ඉල්ලා පැවැති ජනතා උද්ඝෝෂණවලට පහරදීමෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි පැමිණිල්ල මඟින් පෙන්වා දෙයි. ආණ්ඩුව විසින් සිවිල් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් දිගින් දිගටම කරන බවත්, මේ සම්බන්ධව විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙසත් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.

ජනතාවගේ හඬට කන්දීම වෙනුවට මර්දනය යොදා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් උල්ලංඝනය වන බවත්, ඒ සඳහා හමුදා නිලධාරීන් යොදාගැනීම බරපතළ තත්ත්වයක් බවත් පැමිණිලිකාර පාර්ශ්වය පැවැසීය. මේ අතර, යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක හමුදා සතු සියලු බලතල යොදාගැනීමට පසුබට නොවන බවට දක්වා තිබීම සම්බන්ධවද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුකර තිබේ.

වෙඩි තබා ජනතාව මර්දනය කරන බවට එමඟින් පණිවුඩයක් ලබාදී ඇති බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙසත්, අනීතිකව ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් මර්දනය කිරීමට ඉඩ නොදෙන ලෙසත් පැමිණිලිකරුවන් ඉල්ලා ඇත. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව නියොජනය කරන අධ්‍යාපන, කළමනාකරණ, තැපැල්, බැංකු, ටෙලිකොම් ආදී සංවිධාන ගණනාවක නියෝජිතයන් පසුගිය සිකුරාදා (15දා) ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

අමිත් මධුරංග ගමගේ