කවුරු ජනාධිපති වුණත් සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හදන්න ඕනෑ

0
43

අනුප්‍රාප්තික ජනපති තෝරා ගැනීමේදී අපේක්ෂකයන් කිහිපදෙනකු වෙනුවට එක් අපේක්ෂකයෙක් පමණක් ඉදිරිපත් විය යුතු බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

පක්ෂ මූලස්ථානයේ ඉකුත්දා (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එම මාධ්‍ය හමුව අමතමින් හිටපු ජනපතිවරයා මෙසේද කීය.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් තෝරා  ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම සම්බන්ධයෙන් මහ ලේකම්වරයා නිවේදනය කරනු ලැබුවා. ලබන බදාදා වන විට ඡන්දය පැවැත්වීමටත් සැලසුම් කරලා තියෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සාකච්ජා කිරීමේදී අපිට පෙනී ගිය දෙයක් තමයි මේ වනවිට අපිට දැන ගන්න තියෙනවා අපේක්ෂකයන් හතර දෙනෙක් පමණ තරග කරන බව. රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, සජිත් ප්‍රේමදාස  හා අනුර කුමාර දිසානායක මේ සඳහා ඉදිරිපත් වන බව පෙනී යනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම අද රට මුහුණ දෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය මේ රටට සහ ජනතාවට ආදරය කරන දේශපාලනඥයන් සියලු දෙනාම තේරුම් ගත යුතු වෙනවා.

තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර සහ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර පසෙකින් තබලා රට හා ජනතාව මේ වැටී ඇති අගාධයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතුයි.

ආහාර, ඔෟෂධ, ඉන්ධන ඇතුළු සියලු දේ රටේ නැති වෙලාවක මේ රටේ ලක්ෂ ගාණක් බඩගින්නේ දුක් විඳිනවා. ඔෟෂධ නැතුව තෙල් පෝලිම්වල පැය ගණන් ඉද්දී කී දෙනෙක් මැරෙනවද කියලා නිසි ලෙස වාර්තා වෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු හතර දෙනෙක් ගැන තමා දැනට වාර්තා වෙන්නේ. නාම යෝජනා දෙන දවස වෙද්දී ඊට වඩා වැඩි වෙයිද අඩු වෙයිද කියන්න බැහැ. රට තිබෙන බරපතළ අගාධයෙන් රට ගොඩගැනීම සඳහා පක්ෂ පාට භේද අමතක කරලා, පක්ෂයේ සහ පෞද්ගලික න්‍යාය පත්‍ර හා මැතිවරණ සිහින සම්පූර්ණයෙන්ම හිත්වලින් අයින් කරලා සාමකාමී දේශයක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, ස්වයංපෝෂිත ආර්ථිකයක් සමඟ ජනතාව සතුටින් සිටින සමාජයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වෙනවා. මේ මැතිවරණයට අපේක්ෂකයන් කිහිපදෙනෙක් ඉදිරිපත් වෙනවා. එක් අපේක්ෂකයෙක් පමණක් ඉදිරිපත් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.

ඒ අපේක්ෂකයා හොඳද නරකද කියල තීන්දු කරලා ඡන්දය පාවිච්චි කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න තිබුණා. අපේක්ෂකයන් හතර දෙනෙක් සමහර විට ඊට වඩා වැඩි වුණොත් ඒ කවුරු වුණත් ජයග්‍රහණය කරන්නේ එක්කෙනයි. එක්කෙනෙක් ජයග්‍රහණය කිරීම තුළ අනිත් අය ඒ එක්කෙනාට සහාය දීම වැළකෙනවා.  පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහේ සහායක් නැත්නම් මේ රට මේ තත්ත්වයෙන් මුදා ගන්න බැරි වෙනවා.

ජනතාව ගැන හැඟීමක් වේදනාවක් නැත්නම්, රට තුළ ඇතිවෙලා තියෙන මහා අර්බුදය ගැන අවබෝධයක් නැත්නම් මේ රට ගොඩගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.

ඒ නිසා ජනතාවගේ සහයෝගය හා ආශීර්වාදය ලබා ගන්නත්, අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලබා ගන්නත් වඩාත් සුදුසු වෙන්නේ පාර්ලිමේන්තුව බෙදීමක් නැතුව එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන එක. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වෙන එක වෙනුවට ඒ අපේක්ෂකයෝ සියල්ල එක තැනකට ඇවිත් සාකච්ඡා කරලා එක්කෙනෙක් ගැන තීන්දුවක් ගන්න. ඒ සාකච්ඡාවෙන් අනතුරුව එක් අපේක්ෂකයෙක් ගැන රටට කියන්න. ආණ්ඩුවක් අරගෙන රට ගොඩනැඟීම සඳහා ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න. මාස ගණනාවක් තිස්සේ අපි කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟන්න කියලා. ඒ මතයෙන් හා ප්‍රතිපත්තියෙන් අපි වෙනස් වෙලා නැහැ. කවුරු ජනාධිපති වුණත් අපි කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කියලයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජනය තිබිය යුතුයි.

ජාතික සභාවක් පිහිටුවීම ඇතුළු අපි ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාවට නැංවිය යුතුයි. අරගලයේ දී සිටින පිරිස අහක දාලා ඒ මතය ප්‍රතික්ෂේප කරලා ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ අයගේ මතයත් සැලකිල්ලට ගන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එක අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා ඒ වැඩපිළිවෙළ පැහැදිලි සහ ස්ථිර ලෙස අපිට දැනගන්නට සලස්වන්න ඕනේ. ආහාර, ඔෟෂධ, ගෑස්, ඉන්ධන, පොහොර ඇතුළු මහා ජනතාව පීඩාවට පත් කරන ගැටලු විසඳීම සඳහා ඔහුට ඇති වැඩපිළිවෙළ කිව යුතුයි. එහෙම නැති වුණොත් මේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ට එක තැනකට එන්න බැරි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම අපේක්ෂකයෙක්ට සහාය දෙන්නේ නැහැ. ඒ සියලු අපේක්ෂකයන්ට ඡන්දය පාවිච්චි කිරීමෙන් අපි වළකිනවා.

අපේක්ෂකයන් කිහිපදෙනෙක් ඉදිරිපත් වෙන නිසා දැනටම පටන් අරන් තියෙනවා මුදල් ගනුදෙනු කිරීම්, වරදාන වරප්‍රසාද ලබා දීම් ගැන කතා බහ කරන්න. සල්ලි මිලියන ගණන් කෝටි ගණන් දැන් කොහෙන් හෝ ඇදී එනවා. මේ රටට බෙහෙත් ගේන්න සල්ලි තිබ්බේ නැහැ. ආහාර ගේන්න අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් ගේන්න සල්ලි නැහැ කියනවා. නමුත් මන්ත්‍රිවරුන්ට සල්ලි දෙන්න, ගෙවල්වලට මුදල් යවන්න සල්ලි එන්නේ කොහෙන්ද? කවුද මේ සල්ලි දෙන්නේ? පාර්ලිමේන්තුවේ කථානායකවරයා මහ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය නාම යෝජනා භාර ගැනීම සහ ඡන්ද විමසීම කිසිදු දූෂණයකින්, අක්‍රමිකතාවකින් තොරව පිරිසුදුව පවත්වයි කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් අවංකව කටයුතු කරයි කියලා අපි හිතනවා.

නමුත් මේ මුදල් විසි වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ නෙවේ. පාර්ලිමේන්තුවෙන් පිට තමයි මේ සල්ලි විසි වෙන්නේ. නාම යෝජනා දුන්නායින් පසුව අපේක්ෂකයෝ  කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා මේ යන සටනේදී හරිම අසීලාචාර විදිහට විශාල මුදල් ප්‍රමාණයක් එළියට එනවා කියලා අපිට පේනවා. මේ සල්ලි කොහෙන්ද? මේවා ඉතාමත් බරපතළ වැරදි. මේ සල්ලි මන්ත්‍රිවරුන්ට දීලා ඒ අයව තමන්ගේ පැත්තට හරවා ගන්න හදනවා. මේ තියෙන්නේ රහස් ඡන්දයක්. එතැනදී කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ කාටද කවුද ඡන්දෙ දුන්නේ කියලා. මේ කියන තත්ත්වය ඉතාම නරකයි භයානකයි. ඒ නිසා තමයි අපි කියන්නේ අපේක්ෂකයෝ ගණනාවක් ඉදිරිපත් වෙන්නේ නැතුව එකට වාඩි වෙලා එක අපේක්ෂකයෙක් තෝරා ගන්න කියලා.

සවනි ශේශාධි