කන්දකාඩු සිද්ධියේ සැකකරුවන් 697 දෙනාට ඇප නියම වෙයි

0
15

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සැකකාර රැඳවූවන් 697 දෙනාට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදී තිබේ.

එක් එක් රැඳවූවන්ට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කර ඇත.

මෙම රැඳවූවන්ට පුනරුත්ථාපන කඳවුර තුළදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණදී ඇති බවත් ඔවුන් පොදු දේපළවලට හානි කළ බවට ඔවුන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් චෝදනා ගොනු කිරීමට පොලිසිය අපොහොසත්ව ඇති බැවින් මෙම සියලු රැඳවූවන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි පොළොන්නරුව නීති ආධාර කොමිසම් ශාඛාවේ නීති නිලධාරිනි ලංකානි නිරෝෂා මහත්මිය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එම රැඳවූවන්ට එසේ ඇප ලබාදී තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට අකැමැත්තක් දක්වන්නේ නම් තමන් පුනරුත්ථාපනය සදහා යොමු කළ අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත මෝසමක් ඉදිරිපත් කර තමන්ට රැඳී සිටීමට කැමැති පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් එහෙම අධිකරණයෙන් ඉල්ලා සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට දැනුම්දී ඇත.

පසුගියදා ඇති වූ එම සිද්ධියෙන් පසු කන්දකාඩු  පුනරුත්ථාපන කඳවුර තුළ තවදුරටත් රැඳී සිටීමට නොහැකි බව දැන්වූ රැඳවූවන් 697 දෙනා අධිකරණයේ නියෝග මත  මඩකළපුව, පොළොන්නරුව, මොනරාගල හා අනුරාධපුර යන බන්ධනාගාර තුළ පසුගිය දින කිහිපයේදී රඳවා තිබුණ අතර සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන්ට අදාළ නඩුව කැඳවීමෙන් පසුව ඔවුන්ට එසේ ඇප ලබාදී ඇත.

කුමුදු උපුල් ශාන්ත