උණ රෝගය උත්සන්නව රෝහල් 3කට මාරු කළ සිසුවා ජීවිතක්ෂයට

0
10

ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවකු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර පැයකට පසුව ඊයේ (17දා) අලුයම මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවැසීය.  මියගොස් ඇත්තේ බැබිල, කහටපිටිය ගම්පොළ මොහොමඩ් නිස්තාර් මොහොමඩ් යුනුස් නමැති 12 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. මියගොස් ඇති පිරිමි දරුවාගේ මවුපියන් කුලී වැඩ කරන බවත් කී පොලිසිය ගම්පොළ අල්ලාමීනා විද්‍යාලයේ 7 පන්තියේ දරුවා ඉගෙනුම ලබමින් සිට ඇති බවත් පැවැසීය.

පුර පසළොස්වක පෝයදා (13දා) පෙරවරුවේ මොහුට උණ සෑදී ඇති බවත් ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබා ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව රෝගී තත්ත්වය අඩුවක් නොමැති හෙයින් මවුපියන් විසින් යළි දරුවා ගම්පොළ රජයේ රෝහලට රැගෙන ගොස් ඇති බවත් එහිදී පරීක්ෂාවකින් තොරව ඔෟෂධ ලබාදුන් බවත් මරණ පරීක්ෂණයේදී මව ප්‍රකාශ කර තිබේ. පසුව රෝගී තත්ත්වයේ අඩුවක් නොමැති අවස්ථාවේ දී යළි දරුවා 14 වැනිදා පේරාදෙණිය රෝහලට රැගෙන ගොස් ඇති බවත් බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා දරුවා පරීක්ෂා කර බලා වහාම ගම්පොළ රෝහලට ඇතුළත් කරන ලෙස දන්වා ඇති බවත් පොලිසිය පැවැසීය.

ඒ අනුව මවුපියන් විසින් දරුවා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යළි රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් දැඩි සත්කාර ඒකකයේ ඇඳක් නොමැති වීම නිසා කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබියදී ඊයේ (17දා) අලුයම ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.  

දමුණුපොළ – චමින්ද ජයලත්