ඉන්දීය දෙවැනි පොහොර තොගය සහිත නැව ඉදරි දෙසතියේ

0
16

ඉන්දීය ණය වැඩපිළිවෙළ යටතේ ප්‍රදානය කෙරෙන පොහොරවල දෙවැනි තොගය සහිත නැව ඉදිරි සති දෙක තුළ අප රටට පැමිණීමට නියමිතව තිබේ.

එහි මෙටි්‍රක් ටොන් විසිඑක් දහසක පොහොර ප්‍රමාණයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත. ඉන්දීය රජය යටතේ දැනට ලැබීමට නියමිත පොහොර මෙටි්‍රක් ටොන් විසිඑක් දහසක පමණ ප්‍රමාණය 2022 මහ කන්නයේ වී වගාව සඳහාද යොදා ගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කර තිබේ.

ලබන මහ කන්නයේදී ලෝක බැංකුව හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් යූරියා පොහොර වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම ලබා දෙන බවත්, ඔහු ප්‍රකාශ කර ඇත.

ඉන්දීය රජය මෙරටට ලබා දෙන ලද යූරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව කෙරෙමින් පවත බවද අමාත්‍යාංශය පවසා ඇත.

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම පොහොර බෙදාහරින අයුරු සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (17දා) වත්තල පිහිටි එම පොහොර සමාගම්වලට අයත් ගබඩා නිරීක්ෂණය කර ඇත.

පොහොර බෙදා හැරීමේදී ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිවීම ගැටලුවක්ව තිබූ අතර ඊට අදාළ අංශවලට ඇමැතිවරයා, ඩීසල් අවශ්‍ය ප්‍රමාණය එවීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ. එමෙන්ම ඉන්ධන බවුසර් 05ක් සඳහා අවශ්‍ය මුදල් අද (18දා) ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

යූරියා පොහොර දිවයින පුරා බෙදාහැරීම් කටයුතුවලදී ලංකා පොහොර සමාගම එම තොගයෙන් සියයට 60ක්ද, කොමර්ෂල් පොහොර සමාගම සියයට 40ක්ද බෙදා හැරීම කරයි.

සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පොහොර බෙදාහැරීම කෙරේ.

සෑම දිස්ත්‍රික්කයකටම එක් දිනක් හෝ ප්‍රමාද නොකර පොහොර බෙදා හැරීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා දැනුම් දී ඇත.

නිර්මාණි ගුණරත්න