අන්තර් පළාත් පෞද්ගලික බස් තුන්දහසක් දිනපතා ගමන්වාර අවලංගු කරයි

0
11

ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හා ලැබෙන ප්‍රමාණය සීමිත වීම නිසා අන්තර් පළාත් පෞද්ගලික බස් රථ තුන්දහසකට අධික සංඛ්‍යාවක් දෛනික ගමන් වාර අවලංගු කර ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති එස්. විජිත කුමාර “මව්බිම”ට  පැවසීය.

දුර ගමන් බස් රථ සඳහා දෛනික ඉන්ධන ලීටර් 150 – 200ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැක්කේ ලීටර් 40-80ක් තරම් අඩු ප්‍රමාණයක් බවත් කුමාර මහතා කීය.

මේ හේතුවෙන් බස්රථ එක් ගමනාන්තයට පැමිණ අනෙක් ගමනාන්තය සඳහා යෑමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද දක්නට ලැබෙන බවත් එම නිසා මගීන් මෙන්ම බස්රථ කර්මාන්තයේ යෙදෙන්නන්  දැඩි අපහසුතාවකට ලක්වන බවත් ඔහු පැවසුවේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් 3200ක් දිවයින පුරා ධාවනය වන නමුත් එයින් සියයට 10කටත් අඩු සංඛ්‍යාවක් ධාවන වන බවත් ඔහු සඳහන් කළේය.

බස් රථ ධාවනය අඩුවීම හේතුවෙන් මගීන් දැඩි අනාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ ගමන් ගන්නා බවත් එමඟින් අනතුරු බහුල විය හැකි බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. ඉදිරියේදී ලංගමෙන් පමණක් ඉන්ධන ලබා ගැනීමට කටයුතු නොකරන බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කර සිපෙට්කෝ පිරවුම් හල් මඟින් ඉන්ධන ලබා ගැනීමට සාමාජිකයන් යොමුකරන බවත්  විජේරත්න මහතා කීය.  රජය ඉන්ධන ලබා දීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් ලබන අඟහරුවාදා (19දා) සිට සියයට 50කින් ධාවන කටයුතු වැඩි කිරීමට හැකි බව ඔහු පැවසුවේය.

පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ලංගම ඩිපෝව ප්‍රථමයෙන් කැමැත්ත පළ කර තිබුණත් මේ වනවිට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ගමනාගමන කොමිසම අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.   පෞද්ගලික බස් රථ සමඟ තරගකාරී පාර්ශ්වය වන ලංගම මඟින් ඉන්ධන ලබා ගැනීමට වීමෙන් පොදු ප්‍රවාහනය දැඩි අර්බුදකාරී තත්ත්වයකට යොමුවී ඇති බවත් එයට විස¾දුමක් ලෙස සිපෙට්කෝ, සමුපකාර පිරවුම්හල් මඟින් ඉන්ධන ලබා දීම සිදුකළ යුතු බවත් හෙතෙම කීය.  බස් රථ සංඛ්‍යාව අඩුවීම නිසා මගීන් දැඩි අනාරක්ෂිතව ගමනාගමනයේ යෙදෙන බවත් එවන් ක්‍රමවේද අනුගමනය කිරීමෙන් බස් රථ රියැදුරන්, කොන්‍ෙදාස්තරවරුන් මෙන්ම මගීන්ද අපහසුතාවට පත්වෙන බවත් ඔහු පැවසුවේය.

පවතින තත්ත්වය හමුවේ විවිධ අවස්ථාවල වංචනික ලෙස මගීන්ගෙන් අධික මුදලක් ලබා ගැනීමට හැකි බවත් එවැනි අවස්ථාවල ළඟම පොලිස් ස්ථානයට හෝ 1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 මිතුන් ජයවර්ධන