හයර් දිවිල්ල පැත්තක තියලා තෙල් විකුණන ත්‍රීවීල් ජාවාරම්මු

0
339

තෙල් පෝලිමේ සිටි වයෝවෘද්ධ ත්‍රීවීලර් රියැදුරු තද නිද්දේය. ඒ අසලම සිටි තවත් පුද්ගලයකු ජංගම දුරකථනය දෙස බලමින් කල් ගෙවයි. “මේ… පෙට්රල් ලීටරයක් ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද?” මම ඔහු දෙසට කිට්ටු කර ඇසුවෙමි.

ඔහු මා දෙස බැලුවේ තරමක කුතුහලයකින් යුතුවය.

“ග්‍රෑන්ඩ්පාස් එහෙම නැත්නම් මාලිගාවත්ත පැත්තට යන්න” ඔහු අනතුරුව කීවේය.

“කීයක් විතර වේවිද ලීටරයක්?” මම යළිත් හෙමිහිට ඇසුවෙමි.

“රුපියල් 2000 විතර වේවි. ඒ ගාණට තමයි දැන් තෙල් විකුණන්නේ…” ඔහු එසේ කියද්දී නිදා සිටි වයෝවෘද්ධ පුද්ගලයාද නැඟිට අපේ කතාවට එකතු විය.

“උන්ට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ මහත්තයා… අපි මේ දුක් විඳින්නේ තෙල් ටික ගහගෙන ගෙදර වැඩ ටික හරි කර ගන්න. ගෙදර මිනිස්සුන්ට යන්නවත් බස් එකක් නැහැනේ. අපේ ළමයින්ගේ පුංචි දරුවන්ව මිනිස්සු පොර කකා යන බස්වල අරන් යන්න බැහැනේ” ඔහු එසේ කියා ගෝරණාඩු කරන්නට පටන් ගත්තේය.

අපේ කතාව තවදුරටත් දිග හරින්නට මෙතැන හොඳම තැන යැයි සිතූ මම තවදුරටත් ඔහු සමඟ කතාවට වැටුණෙමි. ඒ දැන් පාරේ තොටේ එතරම් දකින්නට නැති ත්‍රීවීලර් ගැන හා තෙල් පෝලිම්වල සිටින ඇතැම් ත්‍රීවීලර් රියැදුරන් කරන තුච්ඡ මාෆියාව ගැන කරුණු හාරා බැලීමේ අදහසින්ය.

“හැමෝම අපෙන් අහන්නේ ඔය ප්‍රශ්නේමයි. ත්‍රීවීලර් එක දිගට තෙල් පෝලිම්වල තියෙනවා. අයි. ඕ. සී. පෙට්රල් ෂෙඩ්වලින් ඒගොල්ලෝ තෙල් ගහනවත් දකිනවා. නමුත් පාරේ හයර් දුවන්නේ නැහැ. ඔය ගැන හැමෝම අහනවා. අනේ මන්දා මේ අපේ මිනිස්සුත් දැන් හොර දේශපාලනඥයෝ වගේම වෙලා” වයෝවෘද්ධ ත්‍රීවීලර් රියැදුරු එසේ කීවේ කලකිරීමෙන් යුතුවය.

මේ ත්‍රීවීලර් රියැදුරන් දෙදෙනා සිටියේ කොළඹ 07 කිංස්සි පාරේ තෙල් පෝලිමේය. ඔවුන් සමඟ එසේ නිදහසේ කතා කළේ ඔවුන්ට ඉදිරියෙන් හා පසු පසින් රෝද හතරේ වාහන කිහිපයක් තිබූ නිසාය. එසේ නොවුණා නම් අනෙකුත් ත්‍රීවීලර් රියැදුරු යක්‍ෂයන් මේ දෙදෙනාට එරෙහිවනු නිසැකය.

“අපේ මිනිස්සු දවස් දෙක තුනක් පෝලිමේ ඉඳලා තෙල් ගහගෙන ගිහින් ආයිත් පෝලිමට එන්නේ තෙල් ටික ගෙදර තියලා. ගෙදර මිනිස්සු ඒවා විකුණනවා. තවත් අය චණ්ඩි දාලා ගෙදර ගිය ත්‍රීවීලර් එක ආපහු එනතුරු පෝලිම අල්ලගෙන ඉන්නවා. බලනකොට එකම උන් ටික තමයි පෝලිමේ ඉඳලා තෙල් අරගෙන යන්නේ.

දැන් හුඟාක් තෙල් පෝලිම්වල තග දාගෙන ඔක්කොම මෙල්ල කරගෙන ඉන්නේ පාතාලේ උන්. නැති නම් පාතාලේ උන් කියලා පෙන්නගෙන බොරු චණ්ඩි පාට් දාන උන්.”

“මේක ගැන හොයන්න පොලිසියට වෙලාවක් නැහැනේ. පොලිසිය මේ දවස්වල වෙන වැඩනේ.”

අපේ රටේ මේ කාලයේ පිකටින් හා උද්ඝෝෂණ අධිකය. ඒවාට වැට බඳින්නට හෝ පාලනය කිරීම පොලිසියේ ප්‍රධාන වගකීම බවට පත්වී ඇති බව ඔබ අප කවුරුත් හොඳින් දන්නා කරුණකි.

රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසිය එසේ කටයුතු කරද්දී කම්බ හොරුන් ඒ  මත බඩ පිණුම් ගසා තම බඩ පුරවා ගැනීමට අනීතික කටයුතුවලට පෙලඹී  ඉන්නේ කිසිදු බියක් සැකක් නැතිවය.

“දැන් වුණත් ඔයගොල්ලෝ මාලිගාවත්තට, දෙමටගොඩට, ග්‍රෑන්ඩ්පාස්වලට, කොටහේනට, කොළොන්නාවට, රාජගිරිය පැත්තට යන්න. වනාතමුල්ලට යන්න. ඒ පළාත්වලනේ වැඩිපුරම ත්‍රීවීලර් රස්සාව කරන මිනිස්සු ඉන්නේ.

“උන් මේ ව්‍යාපාරයේ ඉහළින්ම ඉන්නවා. මේ අය ළඟ පෙට්රල් විතරක් නෙවෙයි ඩීසල් පවා තියෙනවා. පුංචි පුංචි වාහන අරන් ඇවිත්, වෑන් අරන් ඇවිත් පෙට්රල් ෂෙඩ්වලින් තෙල් ගහගෙන ගිහින් විකුණනවා. මේකට සමහර පෙට්රල් ෂෙඩ්වල වැඩ කරන අයත් හවුල්. ඒගොල්ලෝ තමයි තෙල් එන වෙලාව මේගොල්ලන්ට ටෙලිෆෝන් කරලා කියන්නේ.”

මෙසේ කීවේ දෙමටගොඩ පෙට්රල් පෝලිමක සිටි මැදිවියේ පුද්ගලයෙකි.

සාමාන්‍යයෙන් මෙවැනි අකටයුතුකම්වල යෙදෙන්නේ තරුණ වයසේ සිටින ත්‍රීවීලර් රියැදුරන්ය. ඒ බව අපට වඩාත් හොඳින් අවබෝධ වූවේ මේ සම්බන්ධව තොරතුරු සෙවීමට ගොස් තෙල් පෝලිම්වල සිටින ත්‍රීවීලර් රියැදුරන් සමඟ කතා කරද්දීය.

ඇතැමුන් තෙල් වැඩි මිලට විකුණන කාරණය ගැන අප විමසද්දී ඒවාට ලබාදෙන පිළිතුරුවලින් තේරුම් ගියේ ඔවුන් ඒ ව්‍යාපාරය තුළ සිටින බවය.

“පෙට්රල් විකුණන එකට ‍ෙදාස් කියන්න බැහැනේ. ඒ අය දවස් ගණන් පෝලිම්වල ඉඳලා තෙල් ගහගෙන හයර් දිව්වට වැඩක් නැහැ කියලා හිතනවා ඇති. මොකද හයර් අඩුයිනේ. මිනිස්සු ත්‍රීවීලර්වල දැන් යන්නේ නැහැ. ඉතින් බොරුවට කැරකිලා තෙල් ටික පුච්ච ගන්නේ මොකටද…”

ඔහු එසේ කියද්දී තවත් ත්‍රීවීලර් රියැදුරු රැකියාවේ නියුතු අය ඊට රුකුල් දුන්නේ අයි.ආර්.සී. ස්වරයෙනි.

“මිනිස්සු ත්‍රීවීලර් එකට නඟින්නේ මීටරය තියෙනවාද අහලා. මීටර්වලට දැන් ත්‍රීවීලර් දුවන්න බැහැනේ. කන්න බොන්න අපිටත් සල්ලි ඕන. ඒගොල්ලෝ කිලෝ මීටරයක් දෙකක් දුවලා බැහැලා යනවා. අපි එතැන නවත්තගෙන ඉන්නද? ඒ හින්දා තෙල් ටික විකුණනවා.

“අනික රුපියල් 2000 හරි දීලා පෙට්රල් ගන්න එන්නේ” බැරි මිනිස්සු නෙවෙයිනේ. උන්ට සල්ලි තියෙනවා. ඒ හින්දා දීලා ගන්නවා. ඉතින් මොකද? දුප්පත් මිනිස්සු දැන් ත්‍රීවීලර් හොයන්නේ නැහැ. පෙට්රල් හොයන්නෙත් නැහැ. ඔහු එසේ කීවේ නොරුස්සුම් ස්වරයෙනි.

අපේ රටේ රැකියාවක් ලෙස ත්‍රීවීලර් පාවිච්චි කරන්නේ කොළඹ ඇත්තන්ය. එසේ නැත්නම් අර්ධ නාගරික ප්‍රදේශවල පිරිස්ය. තවත් අය ත්‍රීවීලරයට තෙල් සොයන්නේ තම ගෙදර වැඩ පහසු ලෙස කර ගැනීමට හා කාර්යාල හා පාසල් ප්‍රවාහන කටයුතු වෙනුවෙනි.

“අපි මාසිකව ගාණක් පොරොන්දු වෙලා ත්‍රීවීලර් දුවන්නේ රස්සාව අවංකව කරන්ඩනේ. ඉඳලා හිටලා තමයි සාමාන්‍ය විදිහට හයර් දුවන්නේ. ඉතින් අපිත් සමහර වෙලාවට තෙල් ලීටරයක් රුපියල් 2000ට ගන්නවා. ඇයි ඉතින් අර වුවමනාම හයර් ටික දුවන්න බැහැනේ.”

“අනික මහත්තයලා දන්නේ නැහැ සමහර පෙට්රල් ගහලා දුවන කාර් වෑන්වල අය පවා තෙල් ටික විකුණලා ආපහු පෝලිමට එනවා කියලා. දැන් ත්‍රීවීලර් කොයිතරම් පෝලිම්වල තියෙනවාද? කොයි තරම් තෙල් ගහ ගන්නවාද? කෝ… පාරේ හයර් එකක් යන්න එක ත්‍රීවීලර් එකක් හොයා ගන්න බැහැ. කිරිබත්ගොඩ තෙල් පෝලිමක සිටි අප දන්නා හඳුනන ත්‍රීවීලර් රියැදුරු මහතකු එසේ කීවේ වේදනාවෙනි.

“දැන් කිලෝ මීටරයකට රුපියල් 200ක් විතර අය කරනවා. මීටරේ දාලා දුවන්න බැහැ. දුවන්න කැමැතිම නැහැ. රටේ නීතිය බල්ලට ගිහින් තියෙන කාලේ මේ අයත් මිනිස්සුන්ටම කෙළවෙන විදිහට තමයි හම්බ කරන්නේ” ඔහු එසේ කියා යන්නට ගියේය.

මේ කාලයේ මීටරය ක්‍රියාත්මක කොට හයර් දුවන ත්‍රීවීලර් අයියා කෙනකු සොයා ගැනීම මනුස්සයකු මිය නොගිය ගෙදරකින් අබ ඇටයක් සොයා ගන්නා තරම් අමාරුය. එසේම මනුස්සකමට වැඩකරන ත්‍රීවීලර් රියැදුරකු සොයා ගැනීම පවා අපහසුය.

කොළඹ මහ නගර සභාව අසලදී ත්‍රීවීලර් රියැදුරකු අප සමඟ කී තවත් කතාවක් මේ සටහනට එකතු කිරීම සුදුසුම බව අපට තේරුම් ගියේ එහි තිබූ භයානක තත්ත්වය වැටහුණු නිසාමය.

“අද හැම තෙල් පෝලිමකම ඉන්නේ මැරයෝ. උන් ගාණක් අරන් වාහන බලාගන්න මුවාවෙන් හම්බ කර ගන්නවා.

අපිට ඔවුන්ගේ ඉල්ලීමට පිටින් යන්න බැහැ. සල්ලි දෙන්න බැරි නම් උඹලගේ වාහනය ගැන වග කියන්න බැහැ කියලා අපට ගෝරනාඩු කරනවා. ඉතින් නොදී ඉන්නද? ඒ මදිවට එහෙම නොදුන්න මෝටර් සයිකල්වල වගේම ත්‍රීවීලර්වල පැති කණ්ණාඩි වගේ දේවල් හොරකම් කරලා තිබුණා. ඇහුවහම කියනවා අපි දන්නේ නැහැ ඒවා ගලවපු එවුන්ගෙන් අහලා දැන ගන්න කියලා.”

“ඉතින් මේ මාෆියාවත් හරිම දරුණුයි. මේවා එළිපිට කතා කරන්න ගියොත් අපිව මරලා දායි. උන්ට ඒකත් කරන්න පුළුවන්.

කොළඹ නගරයේ බොහෝ ජනතාව ආවේ ගියේ බස් රථවලට වඩා ත්‍රීවීලර්රථවලිනි. ඒ ඉක්මනින් යෑමට වුවමනා නිසාය. දැන් ඔවුන්ට ඒ පහසුව නැත. ඒ ත්‍රීවීලර් අමනයන්ගේ මේ නොහොඹිනා වැඩේ නිසාය.

“කොළඹ නගරේ තියෙන පෙට්රල් ෂෙඩ් හැම එකකටම වගේ ගිහින් බලන්න. හැම තැනකම ත්‍රීවීලර් වැහි වැහැලා. ඒ හැම එකක්ම තෙල් ගහනවා ගෙදර යනවා ආපහු එනවා. අඩුවක් නැහැ.”

“ඇත්තටම මේක අපිටත් හරිම කරදරයක්. කොළඹ ඉන්න අනිත් මිනිස්සුන්ට තෙල් ටිකක් ගහ ගන්න එක මිරිඟුවක් වෙලා තියෙන්නේ මේ අයගේ වැඩ නිසයි. වැඩිපුර තෙල් තියෙන්නේ අපේ පෙට්රල් ෂෙඩ්වල නෙවෙයි. මේ අයගේ ගෙවල්වල.” පෙට්රල් ෂෙඩ් එකක වැඩ කරන තරුණ සේවකයකු එසේ කීවේ කලකිරීමෙනි.

අපේ රටේ දැන් ඇතිවී තිබෙන තත්ත්වයට ඇඟිල්ල දිගු කරන්නේ හොර මැරකම් හා සල්ලි හොරකම් කළ දේශපාලනඥයන්ටය. ඔවුන්ට එසේ ඇඟිල්ල දිගු කරන මෙවැනි ත්‍රීවීලර් රියැදුරන්ද පෙරළා කරන්නේ එබඳුම තක්කඩි වැඩමය. ඉතින් රටක් හදන්නේ කෙසේද? හැදෙන්නේ කෙසේද. මේ අමනයන් හැමෝම පීඩා කරන්නේ අපේ රටේ මිනිසුන්ටය. ත්‍රීවීලර් රියැදුරුගේ සිට ඉහළටම ඉන්නා මේ නොමිනිසුන් වෙනස් වනතුරු යහපත් සමාජයක් ගොඩනැඟිය නොහැකිය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ