ලෝකය හෙල්ලූ අරගල බොහොමයි කවුරුත් පාඩම් ගත්තොත් එහෙමයි

0
238

අසාධාරණ නීති, පවතින රජය වෙනස් කිරීමට වැනි විවිධ හේතූන් මත මිනිසුන්  මහ මඟට පිවිසෙන අතර වැඩි පිරිසක් ඒකරාශි වී සිදුකරන අරගල ලෝක ඉතිහාසයේ  හැරවුම් ලක්‍ෂය වූ වාර ගණනාවකි. ඔවුන් ඉලක්කවලට ළඟා වී ඇත්තේ ලෝක වාර්තා පිහිටුවමිනි. මේ නූතන ලෝකයේ වාර්තාගත දැවැන්තම අරගලයන්ය.

ඉන්දියානු ගොවියන්ගේ විරෝධය 2021

2021 දෙසැම්බර් මුල පැවැති ඉන්දියානු ගොවියන්ගේ අරගලය

මිලියන 250ක් පමණවූ ගොවීන් පවුල් පිටින් ඒකරාශි වී මහ මඟට පිවිසියේ 2020 සැප්තැම්බරයේ ඉන්දියානු පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ගන්නා ලද පනත් තුනකින් සිදුවන අසාධාරණයට එරෙහිවය. ගොවියන් 2020 සැප්තැම්බර් මාසයේදී අරගලය ඇරැඹූ අතර මුලින් මාවත් අවහිර කිරීම, පන්ජාබ් හා හර්යානා දුම්රිය මාර්ග අවහිර කිරීම සිදු කළේය. දවසින් දවස උද්ඝෝෂණයට ජන ගංගා එක් වන්නට විය. සමහර ගොවියන් වගා බිම් ගිනි තැබුවේ කුසගින්න රජ කරද්දීය. 2020 නොවැම්බරය වන විට බෝග අලෙවිය, මිල කිරීම හා ගබඩා කිරීම සම්බන්ධයෙන් සම්මත කරගත් පනත් තුනින් ඔවුන් කෙළින්ම මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් සමඟ දශක ගණනාවක් පුරා සිදු කරන ලද  ගනුදෙනුවට බාධා එල්ලවී තිබිණ. අධික උණුසුම, කොවිඩ් – 19 වැනි තත්ත්වයන් නොතකා ඔවුහු දිල්ලි දේශසීමාවට පැමිණියහ. මේ අරගලය ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි රජය මුහුණ දුන් දැවැන්තම අභියෝගයයි.  අවසන මෝදිට  පනත අවලංගු කිරීමට සිදුවිය. අරගලයේදී මිය ගිය ගොවීන්ට ආධාර කිරීමට රජය එකඟ වුවත් එකදු ගොවියකු හෝ මිය ගිය බවට වාර්තා වී නැති බව රජය මඟින් පාර්ලිමේන්තුවේදී පවසන ලදී.

ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ කළු සමේ ගැටලුව – 2020

කොරෝනා වසංගතයේ මැද අමෙරිකාවේ වාගේම ලෝකයේම කතා බහට ලක්වූ පුද්ගලයෙක් විය. ඔහු අමෙරිකාවේ මිනියාපොලිස් හි ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාය.  2020 මැයි 25 වැනි දින  අමෙරිකානු ඩොලර් 20ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් භාවිත කිරීමට එරෙහිව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඩෙරෙක් චෞවින්  නම් සුදු ජාතික පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල මිනිත්තු නවයක් පාගා ගෙන සිට මරණයට පත් කළේය. මිනිත්තු නවය පුරා ඔහු උපකාර ඉල්ලා කෑ ගසන අන්දම ඇතුළත් වීඩියෝව ඔහුගේ මරණයෙන් පැය 48කට පසු සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණු අතර අමෙරිකාවේ මාවත් අරගලකරුවන්ගෙන් පිරී ඉතිරී  ගියේය. බිම වැතිරී “මට හුස්ම ගන්න බෑ” යනුවෙන් ජෝර්ජ් පවසන අවස්ථාව සුදු කළු භේදයකින් තොරව සියල්ලන්ගේම හදවත් සසල කළේය. ඇතැම් අරගලකරුවන් හිංසාකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගැනීමට පවා සිදු විය. එසේ අත්අඩංගුවට ගත් ගණන 4000 ඉක්මවයි.  ලොව පුරාම වර්ණභේදවාදයට එරෙහිව ක්‍රියාකාරිත්වයන් ඇරැඹුණු අතර 2020 ජුනි දක්වා ම අරගලය පැතිරිණි.  

අරගලයට මුල පිරුණේ මැයි 26 වැනිදා මිනියා පොලිස්හි සාන්ත පෝල් පුරවරයෙනි. දින කිහිපයකින් මිලියන ගණනින් ජෝර්ජ් වෙනුවෙන් ජනතාව පෙළ ගැසිණි. අරගලකරුවන්ගෙන් අමෙරිකානු නගර දෙදහකට වැඩි ගණනක මාවත් පිරී ඉතිරී ගියේය. විරෝධතාවට අන්තර්ජාතිකව සම්බන්ධ වූ රටවල් ගණන හැට ඉක්මවීය.  සාමකාමී නොවන අරගලකරුවන් භාණ්ඩ පැහැර ගැනීම් සහ හිංසාකාරී ක්‍රියාවන් වැඩිවන්නට ගත් නිසා අඩු වශයෙන් නගර දෙසීයකටවත් ඇඳිරි නීතිය පැන වීමට සිදු විය.  

මිනියාපොලිස් ප්‍රාන්තය  මඟින් ජෝර්ජ්ගේ පවුලට අමෙරිකානු ඩොලර් මිලියන 27ක් ගෙවීමට එකඟ විය.

2017 කාන්තා පෙළපාළිය

විශ්‍රාමික නීතිඥවරියක වූ තෙරේසා ෂූක් මුහුණු පොත හරහා 2016  ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට එරෙහිව මහ මඟට බසින ලෙසට ඉල්ලීමක් කළේය. හිලරි ක්ලින්ටන් සහාය දෙන Pantsuit Nation නම් පෞද්ගලික කණ්ඩායමේ  ඇය “අප පෙළපාළි යන්න ඕන.” ලෙසින් සඳහන් කර තිබිණි. ට්‍රම්ප්ගේ පදවි සම්ප්‍රාප්ත උත්සවයෙන් දිනකට පසු වොෂිංටන් ඩී.සී කරා මිලියන භාගයකට වැඩි පිරිසක් වීදි බටහ. ඔවුනට අමෙරිකාව හරහා සිටින මිලියන ගණනින් ජනතාව එක් විය.

ඉරාක යුද්ධයට එරෙහි අරගලය – 2003

2003 පෙබරවාරි 15 වැනිදා මිලියන ගණනින් නගර හයසියයකට වැඩි ගණනකින් ජනතාව මහ මඟට පිවිසියේ අමෙරිකානු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ  ඉරාකය ආක්‍රමණය කිරීමේ සැලැස්මට එරෙහිවය. ද හෆිංටන් පෝස්ට් වාර්තාවන්ට අනුව රෝමයේ පමණක් මිලියන තුනකට වැඩි ජනකායක් අරගලයට සහභාගී වී ඇත. එහෙත් සති කිහිපයකට පසු ඉරාකය ආක්‍රමණය කිරීම ඇරැඹිණි.  මේ අරගලය ඉතා සාමකාමී අරගලයක් විය.

ටියෑන්නෑන්මෙන් චතුරස්‍රයේ විරෝධතාව – 1989

නන්නා¾දුනන මිනිසකු චීනයේ බීජිං නුවර

ටියෑන්නෑන්මෙන් චතුරස්‍රයේ සිට කමියුනිස්ට් පාලනයෙන් වැඩි නිදහසක් ඉල්ලා අරගලයක නිරත විය. පසුව ඊට මිලියන ගණනින් ජනතාව ඒකරාශි විය. හමුදා ටැංකි ඉදිරියේ සිටිමින් අරගලවාදීන් පෑ විරෝධතාවයේදී ගත් ඡායාරූපය විසි වැනි සියවසේ  සංකේතයක් බ¾දුය. මෙය චීනය‍ට කෙතරම් සංවේදී මාතෘකාවක්ද කිවහොත් එහි සිහිවටන පවා මේ වනවිට ඉවත් කර අවසන්ය.

අසූව දශකයේ චීනයේ යෝධ පෙරළියක් සිදුවිය. පාලක ‍කමියුනිස්ට් පක්ෂය පෞද්ගලික සමාගම්වලට හා විදෙස් ආයෝජකයන්ට අවස්ථාව ලබාදී තිබිණි. ආර්ථිකය ඉහළ නංවා ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජයට අවශ්‍යව තිබුණද  විවිධ මතවාද පැනනැඟිණි. ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු වූ හු යාඕබැං ගේ මරණයත් සමඟ විරෝධතාවට මුලපිරිණි. මරණයෙන් සති කිහිපයකට පසු ටියෑන්නැන් මෙන් චතුරස්‍රයට පිරිස ඒකරාශි විය. එක්වූ ජන සංඛ්‍යාව මිලියනය ඉක්මවීය. චීන රජය මුලින් අරගලකරුවන්ට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. එහෙත් පසුව අරගලය පාලනය කිරීමට රජය පියවර ගත්තේය.

1989 ජුනි 5 වැනිදා වේගයෙන් යන යුද ටැංකි ඉදිරියට පැමිණ ඊට බාධා කළ මිනිසාට, අරගලයට මුල පිරූ මිනිසාට අත්වූ ඉරණම අදට ද අබිරහසකි.

පිලිපීන අරගලය 1986

ෆර්ඩිනැන්ඩ් මාකෝස් පිලිපීනය විසි වසරක් රට පාලනය කළේය. ඔහු වැඩිපුරම රට පාලනය කළේ යුද නීතිය යටතේය. ඔහු බලයෙන් නෙරපීම ඇරැඹුණේ පුරවැසියන් මිලියන ගණනින් වීදි බැස අරගල කිරීමෙනි. අරගලය ජය ගත්තේය. මාකෝස්ගේ යුද පාලනය අවසන් විය. කොරසොන් අඛිනෝ නව ජනපතිනිය ලෙසින් පත් වූවාය.

පළමු මිහිතල දින අරගලය – 1970

පළමු මිහිතල දිනය 1970 අප්‍රේල් 22 වැනිදා සමරන ලදී. ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයකු වූ ගේලෝඩ් නෙල්සන් යුද්ධය නිසා පරිසරයට සිදුවන හානිය දුටුවේය. සිදුවන හානිය ගැන අවධානය යොමු කිරීමට ජනතාවට එක්වන ලෙස ඔහු ඇරැයුම් කළේය. ඒ අනුව මිලියන 20කට වැඩි ජනකායක් අමෙරිකානු වීදි පුරා එක්රැස් වන්නට වූහ. ඉතාමත්ම සාමකාමී ලෙස පැවැත්වුණු මේ අරගලය සියයට සියයක්ම පරිසර හිතකාමී විය. 

වාර්තාගත වී ඇති පැරැණිම අරගලය 1783  පෙනිසිල්වේනියාවේදී සෙබළුන් විසින් ගෙන ගිය රාජ්‍යයට එරෙහි අරගලයයි.

අරගලවලට බලපාන හේතූන්  විවිධාකරය. හේතුව කවරක් වුවද සැබෑ අරගලයක නිරත වන්නන් කිසි විටකත් අපරාධකරුවන් වන්නේ නැත. කුරා කුහුඹුවකුටවත් ඔවුන්ගෙන් හානියක් නොවන අතර නිවාස දේපළවලට හානි කිරීමක්ද සිදු නොවෙයි. බෞද්ධ දර්ශනය අනුව නම් සැබෑ අරගලය ඇත්තේ තමන් සමඟය. තමන් සමඟ කරන අරගලයෙන් ජය ලබන්නා සංසාර ගමනේ ජයග්‍රහකයාය.

අන්තර්ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ