රූපවාහිනියට කඩා වැදුණු කවුද මේ ධනීස්?

0
226

ජුනි මස 13 වැනි බදාදා සවස 1.00 පසුවී විනාඩි කිහිපයක් ගත වෙද්දී අපේ රටේ රූපවාහිනි ප්‍රේක්‍ෂක ජනතාවට අමුතුම විදිහේ ක්‍රියාවලියක් දක්නට ලැබුණේය. එය තරමක් බිහිසුණු අත්දැකීමකි.

හිටි හැටියේ රූපවාහිනි තිරයේ පෙනී සිටි තරුණයකු මෙසේ කීවේය.

“මින්පසු ජාතික රූපවාහිනිය ජනසතුයි. ඉදිරියේදී දේශපාලන නායකයන්ට කඩේ යමින් ඔවුන්ව තනතුරුවලට පත් කරන්න බැහැ. ඒ නිසා නිසි රජයක් පත්වනතුරු වාණිජ නොවන හැම වැඩසටහනක්ම කඩේ යෑම නවත්වන්න ඕනෑ.” එසේ කියූ තරුණයා ඊළඟට කීවේ ජාතික රූපවාහිනිය දැන් අරගලකරුවන් සතු බවය.

මේ කලබලකාරී පරිසරය මැද ඊළඟට සිදුවූයේ ජාතික රූපවාහිනියේ විකාශය ඇනහිටීමය. එයින් පසුව ස්වාධීන රූපවාහිනිය ඇතුළු රජයේ බොහෝ ගුවන්විදුලි මාධ්‍යවල පවා දකින්නට තිබුණේ ඒ අමුතු පරිසරයකි. ඒ අනුව එම විකාශයන්ද මොහොතකට නැවතුණි.

එදා මේ කුතුහලය දනවන සිදුවීමට පදනම් වූයේත්, මූලික වූයේත් රැවුල වවාගත් කළු පැහැති ටී ෂර්ට් එකකින් හා කැප් එකකින් සැරසී සිටි තරුණ අරගලකරුවකුගේ ක්‍රියා පිළිවෙතකි. ඔහු සමඟ තවත් මැදිවියේ පසුවූ පුද්ගලයෙක් සිටියේය. ඔහු අරගලයේ පෙරමුණින්ම සිටි කැලුම් අමරසිංහය. එසේ නම් මේ තරුණයා කවුද?

ඔහු ගැන ඊළඟ තත්පරයේ සිට අපේ රටේ ජනතාව සොයන්නට බලන්නට පටන් ගත්තේ මේ සිදුවීම විදේශ රටවලට සාමාන්‍ය දෙයක් වුවත් අපේ රටේ ජනතාවට අමුත්තක් වූ නිසාය. කෙසේ හෝ තවත් මොහොතකදී මුහුණු පොතේ (Facebook) දිග හැරෙන්නට පටන් ගත් විවිධ ඡායාරූප නිසා මේ තරුණයාගේ නම ධනීස් අලි බවත්, ඔහු නාමල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාගේ කිට්ටු හිතවතකු බවත් හැඟෙන්නට විය. ඇත්තටම කවුද මේ ධනීස්? අපි ඔහු සම්බන්ධ කරගත්තේ මේ ගැන අහන්නටය.

“මම දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මම විදෙස් රටක අධ්‍යාපනය ලබලා ලංකාවට ආවෙත් 2017දී. ඒ ඇවිත් ඡන්දය පාවිච්චි කළෙත් දෙපාරයි.

දැන් බොහෝ අය මාව නාමල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාගේ නිල් බළකායේ හිටි කෙනෙක් කියලා කියනවා. මම ඔහු සමඟ දේශපාලන සබඳකම් පවත්වලා නැහැ. නමුත් ක්‍රීඩා ඇමැතිවරයකු හැටියට සිටියදී ෆුට්බෝල් ගැන එහෙමත් නැත්නම් පාපන්දු ක්‍රීඩාව නංවන්න කතා කරලා තියෙනවා.

මොකද මම පාපන්දු ඇකඩමියේ අධ්‍යක්‍ෂවරයෙක් හැටියට හිටියා. මම පාපන්දු ක්‍රීඩාවට ළැදියි. ඒ වෙනුවෙන් චැනල් එකක් පවා මම කරනවා.

ඉතින් ඒ අනුව මම තුන් වරක් නාමල් රාජපක්‍ෂ ඇමැතිවරයා හමුවී තිබෙනවා. ඒ ඇරුණු කොට විශේෂ යාළුකමක් නැහැ.”

ධනීස් අලි  ව්‍යාපාරික තාත්තා කෙනකුගේ පුතෙකි. කුඩා කල සිට ජීවත් වන්නේ කුරුණෑගලය. විවාහ වී දරුවන් දෙදෙනකුගේ පියකු වන ධනීස් මේ අරගලයට සම්බන්ධ වූයේ සිවිල් ක්‍රියාකාරිකයකු ලෙසින්ය.

“මම අරගල භූමියට ඇවිත් එතැනම ඉඳලා තමයි කට්ටිය දැන හඳුන ගත්තේ. මුල ඉඳලම මම එතැන ඉන්නවා. හැමෝම මාව දන්නවා. මම කාගෙවත් කෙනෙක් නෙවෙයි. පුරවැසියන්ගේ කෙනෙක්. කොටින්ම මට සංගමයක්වත් නැහැ.”

ධනීස් ගැන බොහෝ අය කතා බහ කරන්නට පටන් ගත්තේ පෙර කී ලෙසට ඔහු ජාතික රූපවාහිනිය වැටලූ අවස්ථාවේ සිට මුහුණු පොතේ දිගහැරුණු ඕපාදූප සමඟය. ඒ සමඟම මාධ්‍ය ආයතනයකට කඩා වැදී ඔහු කළ ක්‍රියාව සම්බන්ධවද නොයෙකුත් මතවාද ඇතිවිය. විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය වැනි වගකිව යුතු මාධ්‍ය ආයතනයකට ඇතුළු වී ඔහු හැසිරුණු ආකාරය පිළිබඳවත් විවේචන එල්ල විය.

“මම අරගලකරුවන් සමඟ එතැනට ගියේ ජාතික රූපවාහිනි නාළිකාවත් ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන විදිහට හැසිරෙන්න කියන කාරණය කියන්නයි.

ඉතින් මම එතැනට ගිහින් හැසිරුණු විදිහ හොඳ නැහැ කියනවා නම්, එහෙමත් නැත්නම් මාධ්‍යවේදී සහෝදරයන්ට යම් හිත් රිදවීමක් ඇතිවුණා නම් මට සමාවෙන්න කියනවා. මොකද මමත් චැනල් එකක් කරන මාධ්‍යවේදියෙක්” ධනීස් කීවේය.

සාමාන්‍යයෙන් අරගලය ඇරඹූ දා සිටම අපේ රටේ ජනමාධ්‍යවල සේවය කරන බොහෝ ජනමාධ්‍යවේදියෝ මිත්‍රශීලීව ජන අරගලකරුවන් සමඟ කටයුතු කළහ. ජාතික රූපවාහිනියේ ඇතැමුන්ද එසේ ජන අරගලකරුවන් සමඟ උන්නේ එම ආයතනයෙන් ඔවුනට ලබාදී තිබූ නිදහස නිසාමය. ඒ නිදහස එසේ වුවත් ඔවුන් රැකියාව කරන ආයතනයට පණ මෙන් ළැදියි.

“මම නැවත කියනවා එහෙම දෙයක් වුණා නම් මට සමාවෙන්න කියලා. ඒ වගේම ඔවුන් එහිදී මට දැක්වූ සහයෝගය ගැනත් ස්තුති කරනවා.”

ධනීස් මෙවැනි අරගලකරුවකු වුණේ කෙසේද යන්න තමන්ට ගැටලුවක් බව පවසන්නේ කුඩා කලම ඔහු ඇසුරු කළ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ හිතමිතුරෙකි. ඔහු දිනිදු සමීර ඒකනායකය. ඔහු තම මුහුණු පොතේ සඳහන් කර තිබුණේ අරගලයේදී තම මිතුරා කළ දේ අගය කරන නමුත් ජාතික රූපවාහිනියට ගොඩවී කළ ක්‍රියාව විවාදයට තුඩුදෙන බවය.

“මම ධනීස්ව දන්නේ 1 වසරේ පන්තියේ ඉඳලා. අපි කුඩා කල සිටම එකට ඉගෙන ගත්තා. මම ඔහු ගැන හොඳින් දන්නවා. ඔහු පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් වෙහෙසුණු කෙනෙක්. ඔහු උත්සාහ කළේ පාපන්දු ක්‍රීඩාව ගොඩ ගන්නයි. ඔහු නාමල් ඇමැතිවරයා මුණ ගැහුණෙත් ඒකටමයි.”

මේ අනුව ධනීස් අලි කවුදැයි දැන් අපි හඳුනන්නෙමු. ඔහු අරගලය වෙනුවෙන්ම පෙනී සිටින කැප කිරීම කරන අපේ කාලයේ තරුණ පුරවැසියෙකි. එමෙන්ම වගකිව යුතු පුරවැසියකු ලෙස ජනපති මන්දිරය ආරක්‍ෂා කළ කණ්ඩායම මෙහෙය වූයේද ඔහුගේ අධීක්‍ෂණය යටතේය. මේ පුරවැසියා ගැන අප හදිසියේ තීන්දු තීරණවලට එළඹෙනවාට වඩා කාලයට ඉඩදී බලා සිටිය යුතුය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ