මහින්දට-බැසිල්ට 28දා තෙක් විදෙස් ගමන් තහනමක්

0
18

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හා ඔහුගේ සොයුරු හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට මේ මස 28 වැනිදා තෙක් රටින් පිටවී යෑම තහනම් කරමින් සිකුරාදා (15දා) ශේ්‍රෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය. අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය එම නියෝගය කරන ලද්දේ මේ වන විට රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට ඔවුන් දෙදෙනා වගකිව යුතු යැයි පවසමින් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද පෙත්සම පිළිබඳව මූලික කරුණු විමසුම අවස්ථාවේදීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වූ විනිශ්චය මණ්ඩලය විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු විජිත් කේ. මලල්ගොඩ හා විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත විය.

එම පෙත්සම් ගොනුකොට ඇත්තේ ශ්‍රී  ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න, පිහිනුම් පුහුණුකරු ජුලියන් බෝලිං හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් රාජ්‍ය නොවන සංවිධානයද විසිනි.

ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, නවීන් මාරපන, මනෝහර ද සිල්වා ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ කේ. කනගේශ්වරන් ප්‍රමුඛ නීතිඥවරු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

පෙත්සම් විමසුම මේ මස 27 වැනිදා යළි ආරම්භ වීමට නියමිතය.

කමල් මහේන්ද්‍ර වීරරත්න